"අපි රාජපක්ෂලා වගේ සුනාමි හොරු නෙවෙයි" - බිමල්ගේ රතු කට්ට පනී

Report

ඕනෑම ආණ්ඩුවක් යටතේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ඇතැම් කටයුතු නීතිමය වශයෙන් වෙනත් ආකාරයකින් සංවිධානය වී තිබිය හැකි බව ප්‍රවාහනය, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය හා සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 'Rebuilding Sri Lanka' අරමුදල සම්බන්ධයෙන් මුදල් කාරක සභාව තුළ වැරදි අවබෝධයක් පවතින බවයි.

“රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල පිළිබඳව විශාල වැරදි මතයක් මුදල් කාරකසභාව කරගෙන යනවා. රීබිල්ඩින් ශ්‍රී ලංකා කියන අරමුදල එහෙම එකක් පිහිටුවලා නෑ, ඒක නීතිවිරෝධීයි කියලා කටින් අල්ලාගන්න හදනවා නිලධාරීන්ට තගදාලා. ගරු කථානායකතුමනි, හැම ආණ්ඩුවකම ඕනෙම දෙයක් නීත්‍යානුකූල වෙන්නෙ – හැම දෙයක්ම ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්, හැබැයි හැම දෙයක්ම ලීගලි ඒ විදියටම නොතිබෙන්න පුළුවන්.   

දැන් ඒකාබද්ධ අරමුදල කියලා එකක් තියෙනවා. ඒත් ඒක කොහොමද තියෙන්නෙ, මේන් කෑෂ්බුක් එකවුන්ට් කියලා. එහෙම නැත්නම් ට්‍රෙෂරීස් ජෙනරල් එකවුන්ට් කියලා. එතකොට නීතිවිරෝධීයිද ? මේ රටේ ඕනෙ තරම් අරමුදල් හදලා තියෙනවා හදිසියට. සුනාමියට හදලා තියෙනවා, පාස්කු ප්‍රහාරයටත් හදලා තියෙනවා. දැන් මේ IMF හදපු පනතක් අල්ලාගෙන … අපි දන්නවා ඒක ලංකාවේ නීතිය තමයි, හැබැයි ලංකාවේ නීතියේ තිබුණා කියලා …. මේ අරමුදල ආණ්ඩුවටත් වඩා මිනිස්සු ඉල්ලුවේ.

ඕනෙම රටක පනතක් හදන්න කාලයක් යනවා. මේ පනත හදාගෙන යමින් තියෙන්නෙ. රීබිල්ඩින් ශ්‍රී ලංකා එක දැනට මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් යටතේ තියෙන ගිණුමක්. ඒක නීත්‍යානුකූලයි. මිනිස්සුන්ට ඕනෙ වුණා දිට්වා එකෙන් පස්සෙ ආධාර කරන්න. ඒකට ගිණුමක් හැදුවා, ඒ ගිණුමෙ නම ඩිපියුටි ට්‍රෙෂරි සෙකට්‍රීස් එකවුන්ට්. හැබැයි මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති හින්දා අපි ඒකට නමක් කියනවා ‘දිට්වා අරමුදල’ කියලා. ඉතාම සරල දෙයක් කරලා තියෙනවා ඉතාම සද් චේතනාවෙන්. ඒකට මේ නිලධාරීන්ගේ කටින් අල්ලාගන්න හදනවා එහෙම ෆන්ඩ් එකක් නෑ නේද කියලා. ඒක වැරදියි. අපි මේ අර සුනාමි ෆන්ඩ් හොරකම් කරන ජාතියේ කට්ටියක් නෙවෙයි. අපි මේ සුනාමි හොරු නෙවෙයි රාජපක්ෂලා වගේ” 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට තුළ විවිධ හදිසි අවස්ථාවන් සඳහා මීට පෙරද විශේෂ අරමුදල් සහ ගිණුම් ස්ථාපිත කර ඇති බවයි. සුනාමි ව්‍යසනය සහ පාස්කු ප්‍රහාරය වැනි අවස්ථාවන්හිදී ද එවැනි මූල්‍ය යාන්ත්‍රණ ක්‍රියාත්මක කර ඇති බව ඔහු සිහිපත් කළේය.

තවද, 'Rebuilding Sri Lanka' සඳහා වෙනම නීතිමය රාමුවක් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවත්, ජනතාවගේ සහ පරිත්‍යාගශීලීන්ගේ අවශ්‍යතාවය මත එම ගිණුම ක්‍රියාත්මක කළ බවත් බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.