කණ්ඩායම් 48ක් සිහසුනට පොරකන 2026 FIFA ලෝක කුසලානය අද පටන්ගනියි
කණ්ඩායම් 48ක් සහ තරග 104ක් සමඟින් පැවැත්වෙන ඉතිහාසයේ විශාලතම 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අද (ජූනි 11) මෙක්සිකෝවේදී ආරම්භ වන අතර, තරගාවලිය ජූලි 19 දක්වා පැවැත්වීමට නියමිතය.
FIFA ලෝක කුසලාන තරගාවලියකට රටවල් තුනක් එක්ව සත්කාරකත්වය ලබා දෙන පළමු අවස්ථාවද මෙය වේ. මෙවර තරගාවලිය ඇමරිකාවේ නගර 11ක, මෙක්සිකෝවේ නගර 3ක සහ කැනඩාවේ නගර 2ක ඇතුළුව මුළු නගර 16කදී පැවැත්වේ.
මෙවර කණ්ඩායම් 48ක් කාණ්ඩ 12කට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග තුනක් ක්‍රීඩා කරනු ලබයි.
එහිදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා හොඳම කණ්ඩායම් දෙක සෘජුවම Knockout වටයට සුදුසුකම් ලබන අතර, තෙවැනි ස්ථානය හිමි කරගන්නා කණ්ඩායම් අතරින් ඉහළම දළ ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම් 8ද සමඟින් අවසන් කණ්ඩායම් 32 තෝරා ගනු ලබයි.
සුපිරි 32 වටයේදී එම කණ්ඩායම් තරග 16කට මුහුණ දෙන අතර, එම වටයෙන් කණ්ඩායම් 16ක් ඉදිරියට පැමිණේ.
අනතුරුව ඔවුන් අවසන් 16 දෙනාගේ වටයෙන් පසුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තරග 8කට ක්‍රීඩා කරනු ලබයි.
එහි ජයග්‍රාහී කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, ඉන් ජයගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට පිවිසෙති.
අවසානයේදී අවසන් පූර්ව වටය ජයගන්නා කණ්ඩායම් දෙක ජූලි 19 වැනිදා නිව්යෝර්ක්හි මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය MetLife Stadium හිදී පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේදී එකිනෙකා හමුවීමට නියමිතය.