හිම කඳු අතරින් මතුවූ හදිසි විපතක් - භූතානයේ විලක් පුපුරා යෑමෙන් ඉන්දියාවට ගංවතුර අනතුරු ඇඟවීම්
භූතානයේ වයඹදිග ප්රදේශයේ පිහිටි ග්ලැසියර විලක් පුපුරා යාමෙන් හටගත් හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ ඇසෑම් ප්රාන්තවල ප්රදේශ කිහිපයකට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි භූතානයේ ගාසා දිස්ත්රික්කයේ පිහිටි ශින්ටාෆු (Shintaphu) විලේ මෙම සිදුවීම බ්රහස්පතින්දා සවස වාර්තා වී තිබෙනවා.
ඒ හේතුවෙන් මෝ චූ (Mo Chhu) ගඟ ආශ්රිතව පිහිටි ජනප්රිය ස්වාභාවික උණුදිය උල්පතක් වන ගාසා ත්සාචු (Gasa Tshachu) ප්රදේශයේ සියලුම පහසුකම් ගංවතුරට හසුව විනාශ වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ගංවතුර තත්ත්වය ඇතිවීමට පෙර එම ප්රදේශය ජනතාවගෙන් ඉවත් කර තිබීම හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. භූතානයේ ඇති අවදානම් සහිත ග්ලැසියර විල් 17 අතරට ශින්ටාෆු විල ද ඇතුළත් වනවා.
මෙම විල පිහිටා ඇත්තේ මෝ චූ ගඟ ආරම්භ වන ප්රදේශයේයි. ගංවතුර ජලය මේ වනවිට පුනඛා ප්රදේශයට කිලෝමීටර් 8ක් පමණ දුරින් පිහිටි කබේසා ප්රදේශයේ ශ්රීගං දක්වා ළඟා වී ඇති බව වාර්තා වනවා.
ඉන්දියාවේ ප්රදේශ කිහිපයකටත් අනතුරු ඇඟවීම්
මෙම තත්ත්වය හමුවේ භූතානයට මායිම්ව පිහිටි ඉන්දියාවේ ප්රදේශවලට හදිසි ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බැවින් එරට බලධාරීන් දැනුවත් කිරීමට භූතාන රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඇසෑම් ප්රාන්තයේ ධුබ්රි දිස්ත්රික්කය සහ බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං කඳුකර ප්රදේශය, අලිපූර්දුවාර් සහ ජල්පයිගුරි දිස්ත්රික්ක අවදානම් ප්රදේශ ලෙස හඳුනාගෙන තිබෙනවා.
එමෙන්ම බටහිර බෙංගාලයේ කූච් බෙහාර් ප්රදේශයේ සන්කෝෂ් ගඟ ආශ්රිතව ජීවත් වන ජනතාවටද බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ගංවතුරෙන් තවත් හානි
මේ අතර මෝ චූ ගඟේ ගංවතුර හේතුවෙන් භූතානයේ පුනඛා ප්රදේශයේ ක්රියාත්මක කර තිබූ සූර්ය බලයෙන් ක්රියාත්මක වන වාරිමාර්ග ජල එසවුම් පද්ධතියකටද අර්ධ හානි සිදුව තිබෙනවා.
එමෙන්ම ගංවතුර සමඟ ගසාගෙන ආ සුන්බුන් හේතුවෙන් පුනඛා-ගාසා ප්රධාන මාර්ගයේ කොටසක්ද අවහිර වී ඇති බව සඳහන්.
ග්ලැසියර විලක ජලය රඳවාගෙන සිටින ස්වාභාවික හෝ අයිස් බැම්මක් හදිසියේ බිඳ වැටීමෙන් විශාල ජල ප්රමාණයක් එකවර පහළට ගලා ඒම මෙවැනි ගංවතුර තත්ත්වයකට හේතු වනවා. අධික වර්ෂාව, නායයෑම්, හිම කඳු කඩා වැටීම් සහ ග්ලැසියර වේගයෙන් දියවීම වැනි හේතු නිසා මෙවැනි විපත් ඇතිවිය හැකි බවද වාර්තා වනවා.