කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේදී මියගිය සැකකරුගේ සිද්ධියෙන් සැරයන්වරුන් දෙදෙනෙකු ඇතුළු 3කගේ වැඩ තහනම්

Report

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රාජකාරි පැහැර හැරීමේ චෝදනාව මත අදාළ නිලධාරීන්ට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කොබෙයිගනේ පොලිසියට භාර දී තිබුණි.

ඒ අනුව, අදාළ සැකකරු දින දෙකක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ රඳවා තබාගෙන සිට ඇති අතර, පසුගිය 27 වැනිදා රාත්‍රියේ ඔහු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙම මරණයත් සමඟ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස්දෙනෙකු ද කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කරන්නේ, සැකකරු අල්ලා ගසක බැඳ තැබීමෙන් පසු පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර ඔහු කිසිදු අනතුරකින් තොරව පොලිසියට භාරදුන් බවයි.

එමෙන්ම, සැකකරුට කිසියම් පහරදීමක් සිදුව තිබුණේ නම්, ඔහු මියයාමට පෙර රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති. මේ අතර, අත්අඩංගුවට ගත් ප්‍රදේශවාසීන් පස්දෙනා මෙතෙක් මුදාහැර නොමැති අතර, ඔවුන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට

බේකරි හිමියන්ගෙන් හදිසි තීන්දුවක් - පාන් ඇතුළු සියලු බේකරි කෑම මිල රුපියල් 5කින් ඉහළට