ඉන්ධන මිල වැඩි වෙයි.. රටපුරා වැටලීම් සඟවපු අයට වැඩ වරදී
කළුතර - රාත්‍රී කාලයේදී ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බව ව්‍යාජ ලෙස පවසමින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඊයේ (14) රාත්‍රියේ බේරුවල පිහිටි ඉන්ධන පිරවුම්හලක් වටලා තිබේ.
වැටලීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් 6,400කට ආසන්න ප්‍රමාණයක් සඟවා තැබූ බව අනාවරණය වී ඇති අතර, පාරිභෝගිකයින්ට එම ඉන්ධන ලබාගැනීමට නොහැකි බව පවසමින් යුරෝ 3 පෙට්‍රල් පමණක් අලෙවි කර තිබුණි.
දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල මෙවැනි වංචනික ක්‍රියාකාරකම් පවතින බවට පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇත.
පරීක්ෂාවේදී අදාළ ඉන්ධන බෙදාහැරීමේ සමාගමේ නිලධාරීන් විසින් රාත්‍රී කාලයේ ඔක්ටේන් 92 පෙට්‍රල් නොමැති බව පවසමින් යුරෝ 3 පෙට්‍රල් අලෙවි කරන ලෙසට උපදෙස් දී ඇති බව ද ස්ථාන කළමනාකාරිත්වය විසින් අනාවරණය කර ඇත.
වැටලූ ඉන්ධන තොගය නිල භාරයට ගෙන මුද්‍රා තබා ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව හෙට (16) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළේය.
පාරිභෝගිකයින්ට තම අයිතිය වන ඉන්ධන ලබාගැනීමට බාධා කිරීම සහ වංචනික ලෙස වෙනත් ඉන්ධන අලෙවි කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.