යාචක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්
කාත්තන්කුඩි ප්රධාන මාර්ගයේ යාචක කණ්ඩායම් දෙක අතර බරපතල ගැටුමක් ඇතිවීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල සමඟ රෝහල්ගත වෙයි මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කාත්තන්කුඩි ප්රධාන මාර්ගයේ ඊයේ (19) සවස යාචක කණ්ඩායම් දෙක අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව කාත්තන්කුඩි පොලිසිය පවසයි.
මෙම ගැටුම ශුද්ධ වූ උපවාස සමයේදී සිදුව ඇති අතර, පිටත පළාත්වල සිට විශාල පිරිසක් කාත්තන්කුඩි ප්රදේශයට පැමිණ සිඟමනේ යෙදෙන බවත්, රාත්රියේ සාප්පු ඉදිරිපිට නිදාගෙන පසුදා නැවත සිඟමනේ යෙදෙන බවත් පොලිසිය සඳහන් කරයි.
එවැනි යාචක කණ්ඩායම් දෙක අතර මෙම ගැටුම ඇති වූ අතර, ගැටුමට සම්බන්ධ වූවන් බීමතින් සිටි බවද වාර්තා වේ.
තුවාල ලැබූ දෙදෙනා කාත්තන්කුඩි පොලිසියේ සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල ලෙස වාර්තා වේ.
කාත්තන්කුඩි පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.