තමා පෙම්කල නීතිඥවරියක් කපා කොටා ඝාතනය කළ පුද්ගලයාට ඇප
මිරිහාන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක කපා කොටා මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇයගේ රියදුරා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය.
අදාළ සැකකරු නීතීඥ ජයබා කළුපහන මහතා මාර්ගයෙන් ගොනුකළ ඇප අයදුම්පතක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරන බවත් නියෝග කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මියගිය නීතිඥවරියගේ රියදුරු වශයෙන් සේවය කළ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි ජයනාත් ධීරසිංහ නමැත්තා මෙසේ ඇප මත මුදා හරින ලදී. 2024 වසරේ සැප්තැම්බර් මස 21 වනදා විවාහයෙන් වෙන්ව සිටි 36 හැවිරිදි නීතිඥවරියක ඇයගේ නිවසේදී කපාකොටා මරාදැමීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය මගින් මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ නීතීඥ ජයබා කළුපහන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු අදාළ නිවසේ වසර දෙකක පමණ කාලයක් රියදුරු වශයෙන් සේවය කළ බවත් පසුව මියගිය තැනැත්තිය හා මෙම සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් හටගෙන තිබූ බව සඳහන් කර සිටියේය.
එම ප්‍රේම සම්බන්ධය මියගිය තැනැත්තිය විසින් එක්තරා අවස්ථාවකදී නැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් කෝපයට පත් මෙම සැකකරු අදාළ මරණය සිදුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් නීතිඥවරයා පෙන්වා දී ඇත.
තවදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා ඇප පනතේ 16 වන වගන්තියට අනුව මෙවැනි වරදකට සම්බන්ධ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකි උපරිම කාල සීමාව මාස 12 ක් බවත් මෙම සැකකරු මේ වන විට මාස 12ක් සහ දින 02 ක් රිමාන්ඩ් භාරයේ පසුවන බවත් පෙන්වා දී ඇත. ඒ අනුව මෙම සැකකරුට ඇප ලබාදීමට හැකියාව තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.