අයහපත් කාලගුණයෙන් දරුණු අවදානමක් - 16,000කට අධික පිරිසක් ගැන සංවේදී අනාවරණයක්
අයහපත් කාලගුණයෙන් 16,000කට අධික පිරිසක් පීඩාවට: මරණ 8ක් වාර්තා වේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16,000කට අධික පිරිසක් විවිධ ආපදාවන්ට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනුයේ පවුල් 4,151කට අයත් පුද්ගලයින් 16,345ක් මෙලෙස බලපෑමට ලක්ව ඇති බවයි.
දිවයින පුරා දිස්ත්‍රික්ක 11කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් මෙම ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති අතර, මේ වන විට අයහපත් කාලගුණය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මින් වැඩිම පිරිසක් සහ වැඩිම හානියක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන අතර, එහි පවුල් 1,912කට අයත් පුද්ගලයින් 7,288ක් පීඩාවට පත්වීමත් සමඟ මරණ 6ක් ද වාර්තා වී ඇත.
මීට අමතරව පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින් ද එක් මරණය බැගින් වාර්තා වී තිබේ. කාලගුණික ආපදා තත්ත්වයන් නිසා නිවාස පූර්ණ හා අර්ධ වශයෙන් හානි වීමේ සිදුවීම් 581ක් ද වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.