සමාජ මාධ්‍ය කැළඹූ පිඹුරු නැටුම - තරුණියට සහ වෙළෙන්දාට හිමි අධිකරණයෙන් වූ දඩුවම
අවුරුදු කුමාරි තරගයකදී ආරක්ෂිත වන සතෙකු වන පිඹුරෙකු සමඟ නර්තනය කළ තරුණියකට සහ එම සතා මුදලට ලබාදුන් පුද්ගලයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් අවධානයට ලක් වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් වනජීවී පරාස කාර්යාලය විමර්ශන සිදුකර ඇති අතර, අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නඩුව ජූලි 22 වැනිදා කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනාම වරද පිළිගෙන ඇත. ඒ අනුව, ආරක්ෂිත වන සතෙකු ළඟ තබාගෙන එය නර්තනය සඳහා භාවිත කළ තරුණියට රුපියල් 50,000ක දඩයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ආරක්ෂිත වන සතෙකු ළඟ තබාගෙන අලෙවි කිරීමේ චෝදනාවට අනෙක් සැකකරුට රුපියල් 100,000ක දඩයක් නියම කළේය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, ආරක්ෂිත වන සතුන් ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතියෙන් දැඩි ලෙස තහනම් වන අතර, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.