පාරම්පරික වෛද්‍යවරුන් එකතු කරගනී. - වෛද්‍ය විද්‍යාවක් ලෙස මෙරට අයුර්වේද විද්‍යාවට කරන්න යන දේ මෙන්න.
වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්යාවටට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බවත් එම කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
පස් වසරක සැලැස්මක් තුළින් අයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්රමයේ උන්නතිය සඳහා පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා මෙරට සංචාරක ක්ෂේත්රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද අයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමින්.
දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් වු යෝජනාවලිය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.
සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ, 2022 වසරේ සුව කිරීමට තමා වෙත භාර දුන් ලෙඩා දැන් නැගිට සිටින බවයි. නමුත් සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් පැමිණ සුව වූ ලෙඩා නැවත ලෙඩ කිරීමට සුදානම් වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඔහුගේ අගුණ බෙහෙත බිව්වොත් නැවත කිසිදින ලෙඩා සුවපත් කිරීමට නොහැකි වනු ඇති බවද පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
" 2022 වසරේදී සුව කිරීම සඳහා මටත් ලෙඩෙක් භාර දුන්නා. පළමුව හඳහන බලන්න වුණා. ඉන්පසුව කෙසේ හෝ පත්තුවක් බැන්දා. තිත්ත කසාය දෙන්න වුණා. වසර දෙකක් ගත වන විට දැන් ලෙඩා නැගිටලා ඉන්නවා.
දැන් සුදුසුකම් නැති වෙදෙක් ඇවිත් සුව වු ලෙඩාව නැවත ලෙඩ කරන්න උත්සාහ කරනවා. ඔවුන් දෙන්න හදන බෙහෙත ඇගට ගුණ නැහැ. බිව්වොත් ඉවරයි. නැවත ගොඩගන්න බැරි වෙනවා. ඒ නිසා සුව වු ලෙඩා එම බෙහෙත බොනවද නැද්ද කියා තීරණය කළ යුතුයි. ඒ නිසා අපේ බලාපොරොත්තුව ලෙඩාව අවධානමේ නොදමා තවත් සුවපත් කර ගැනීමයි.
රටකට මෙවන් ලෙඩක් හැදුණු විට ලෙහෙසි පහසු නැහැ. ලෙඩාව සුව කරන්න අපිට පිටිනුත් වෛද්‍යවරුන් ගෙන එන්න සිදු වුණා. වොෂින්ටන් නුවරින්, ටෝකියෝ ඇතුළු රටවල් 18කින් අපි වෙද මහත්වරු ගෙනාවා. අසීරුවෙන් ඖෂධ දී රෝගය සුවපත් කරගත් විට එක් අයෙක් පැමිණ කියනවා මම මේ ඔක්කොම වෙදකම් දන්නවා කියලා. ඔහු දෙන්න හදන බෙහෙත් වට්ටෝරුව දිහා බැලුවම බය හිතෙනවා. ඒ පිළිබඳ තීරණය අද රටට ගැනීමට තිබෙනවා.
මට මෙම සමුළුවට ආරාධනා කිරීම පිළිබඳව ස්තූතිවනත් වෙනවා. ඔබ සියලුදෙනා මෙහිදී ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළා. ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අප සාකච්ඡා කරනවා. අප දේශීය වෛද්‍ය ක්‍රමය ආරක්ෂා කර දියුණු කළයුතුයි. මට මතකයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලයේ ඩබ්.ජේ. ප්‍රනාන්දු මැතිතුමා යටතේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ පළමු කමිටු වාර්තාව නිකුත් කළා. ඉන්පසුව එවන් කටයුත්තක් සිදුව නැහැ.
දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පාරම්පරික වෛද්‍යවරුන් වගේම ආයුර්වේද පීඨයෙන් පිට වු පිරිස ද සිටිනවා. අතීතයේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා සාර්ථක වුණා. එම ක්‍රමවේදයන්හි යම් වටිනාකමක් තිබුණා. වසර 1000, 2000ක් මෙම සෞඛ්‍ය ක්‍රමය මෙරට මෙන්ම දකුණු ආසියාව පුරා ව්‍යාප්තව පැවතියා. දැන් ඉන්දියාව දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ බොහෝ පර්යේෂණ සිදු කරනවා. අපේ රටේ එවැන්නක් සිදු වන්නේ නැහැ. ඒ නිසා දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ පර්යේෂණ කරමින් එහි ඉතිහාසය අධ්‍යයනය කරමින් ඉදිරියට යාමට අවශ්‍යයි. පාරම්පරික වෛද්‍යවරුන් ද මේ සඳහා එක් කර ගත යුතුයි. ඔවුන්ටද පිළිගැනීමක් ලබාදිය යුතුයි. ඒ සමඟම ජ්යෙතිෂ්යයද මීට සම්බන්ධ කරගත යුතුයි. මේ සියල්ල එකට බද්ධව තිබෙනවා. එය වෙන් කළ නොහැකියි. මෙම පසුබිම තුළ අප නව රාමුවක් සකස් කළ යුතුයි. මේ සෑම අංශයක්ම පිළිගෙන ඒවා ලියාපදිංචි කිරීමට නව නීතියක් ගෙන ඒමට ද අප බලාපොරොත්තු වෙනවා.
මෙම කටයුතු සඳහා අපට ආයුර්වේද දෙපාර්තමේන්තුව පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ආයුර්වේද පිළිබඳ ජාතික සභාවක් ඇති කිරීමට ද අප කටයුතු කරනවා. මෙම ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලීන සැලැසුම් සහ පස් වසරක සැලැස්මක් ඇති කිරීමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රතිසංවිධානය පිළිබඳ අප අලුතින් සිතිය යුතුයි. සියලු කොට්ඨාස එකට එක් කර ගනිමින් තිබෙන සම්පත්වලින් මෙම කටයුතු ආරම්භ කර ඉදිරියට ගෙන යමු.
වෛද්‍ය විද්‍යාවක් ලෙස අයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබාදීම මගේ අරමුණයි. ඒ සමඟ මෙම වෛද්‍ය ක්‍රම සොයාගෙන සංචාරකයන් අපේ රටට පැමිණෙනවා. ඉන්දියාවේ එය ක්‍රියාත්මක වෙනවා. අපත් එම ක්‍රමවේදය අනුගමනය කළයුතුයි. අපේ දේශීය වෛද්‍ය ක්රමයේ විද්‍යාත්මක පදනම සොයගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා පර්යේෂණ අවශ්‍යයි. ඒ වගේම සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් නවීකරණයකින් යුතුව මෙම ක්ෂේත්රය දායක කරගත යුතුයි.
තායිලන්තය වැනි රටවල ප්‍රධාන හෝටලයකට ගිය විට එම ආයුර්වේද සත්කාර ලබාගැනීමට හැකියාව තිබෙනවා. අනාගතයේදී අපත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා සංචාරක ක්ෂේත්රයට ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඇතුළත් කළ යුතුයි. එමඟින් අපට විදේශ විනිමය ඉපැයීම වැඩිකර ගැනීමට හැකියාව තිබෙනවා. චෙන්නායි වැනි නගරවල අද ජ්‍යොතිෂ්‍යය ක්‍රමය ද දියුණු කර තිබෙනවා. මේ සම්ප්‍රදායන් සියල්ල එක් කර ගනිමින් අප මෙම ක්ෂේත්රය දියුණු කළ යුතුයි.
ඒ නිසා ආයුර්වේද පිළිබඳ ජාතික සභාව ඇති කිරීම සම්බන්ධව අපට උපදෙස් අවශ්‍යයි. සියලුදෙනාට එක්ව කටයුතු කිරීමට හැකිවන අයුරින් මෙම සභාව ඇති කිරීමට අවශ්‍යයි."
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි,
"දේශීය වෛද්‍ය ක්ෂේත්රය දියුණු කිරීම තුළින් ජාතික ආර්ථිකයට ඉතා ඉහළ දායකත්වයක් ලබා දිය හැකියි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ සඳහා අවශ්‍ය විවිධ නෛතික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට හැකි වූ බව මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කිරීමට කැමතියි. ඒ තුළින් දේශීය වෛද්‍ය ක්ෂේත්රය අපනයන ආදායම් උත්පාදනය කළ හැකි කර්මාන්තයක් බවට පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.
ඩොලර් මිලියන 300කට වැඩි විදේශ විනිමය උත්පාදනය කිරීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය හරහා ලැබෙන ආයෝජන මෙන්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ගුණාත්මක ඖෂධ අපනයනය කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා දායක වීමට හැකි වන පරිදි දේශීය වෛද්‍ය ක්ෂේත්රය වැට් බදුවලින් තොරව පවත්වා ගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලැබුණ අවස්ථාව අගය කළ යුතුයි. තවද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්ම සීමාවාසික ආයුර්වේද වෛද්‍යවරුන් මුහුණ දුන් ගැටළු විසඳීම සඳහා එතුමා ගත් පියවරද මෙහි පැමිණ සිටින සියළු දෙනා වෙනුවෙන් සිහිපත් කරනවා.
දේශීය වෛද්‍ය ක්ෂේත්රය නඟා සිටුවීම වෙනුවෙන් ජනාධිපතිතුමා දක්වන අවධානයත්, ඒ යටතේ ආරම්භ කරන ලද වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අභිලාෂයත් ඇතුව ඉදිරි වසර පහ සඳහාද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා නැවතත් ජනාධිපතිධුරයට පත් කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ සහාය ලබා දෙන බවද මා මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ යන මහත්වරුන්ද, දේශීය ඖෂධ නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන්, ඖෂධසැල් හිමියන්, ඖෂධ සේවා සපයන්නන් ඇතුළු පාරම්පරික ආයුර්වේද, යුනානි, සිද්ධ සහ හෝමියෝපති ආදී දේශීය වෛද්‍ය ක්ෂේත්රයේ නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වූහ."