දිස්ත්‍රික් මට්ටමින් ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹෙයි...
හෙට (12) සිට අ.පො.ස උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළ ශිෂ්‍යත්ව ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණු අතර අනෙකුත් දිස්ත්‍රික්ක 24ට අදාළ ශිෂ්‍යත්ව පිරිනැමීමට මෙලෙස හෙට සිට දීප ව්‍යාප්තව සිදු කෙරෙන බව සඳහන් ය.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට (12) සහ ජූලි (15) වනදා සිදුකෙරෙන බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ, බදුල්ල, මාතලේ සහ යාපනය දිස්ත්‍රික්කවල ජූලි 13 වන දිනද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජූලි 14, ගම්පහ දිස්ත්‍රික්කයේ ජූලි 16 සහ 17, ගාල්ල සහ අනුරධාපුර දිස්ත්‍රික්කවල ජූලි 15, වව්නියාව, මඩකලපුව, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල ජූලි 16 යන දිනයන්වල මෙන්ම කලුතර, මන්නාරම, අම්පාර, කුරුණෑගල, මහනුවර දිස්ත්‍රික්කවල ජූලි 17, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ජූලි 18, මොණරාගල, මාතර දිස්ත්‍රික්කවල ජූලි 19 සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ජූලි 22 යන දිනයන් තුළ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරන බවයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල සහ විදුහල්පතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන බව සඳහන් වේ.
මෙහිදී පළමු අදියරේදී මෙම ශිෂ්‍යත්ව ලාභීන්ගෙන් කොටසක් පමණක් ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සඳහා කැඳවීමට කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.
