ඉන්ධන හිඟයට මුහුණදීමට ආසියාව ඉන්දියාවට හැරේ
ඉරානයේ යුද ගැටුම් හේතුවෙන් උද්ගත වී ඇති තෙල් අර්බුදය මධ්‍යයේ, ආසියාතික රටවල් කිහිපයක් ඉන්දියාවෙන් අමතර ඉන්ධන තොග ඉල්ලා ඇති බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු රටවල් රැසක් මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඒවා පිළිබඳව ඉන්දීය රජය සමාලෝචනය කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත. ඉන්දියාවේ බලශක්ති අවශ්‍යතා සහ බොරතෙල් ආනයන හැකියාව සැලකිල්ලට ගනිමින් අසල්වාසී රටවල්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටින බවද වාර්තා වේ.
තෙල් අර්බුදය දිගටම පැවතීම හේතුවෙන් ඉන්ධන හිඟයක් උග්‍ර වීමට ඇති අවදානම හේතුවෙන්, වාර්ෂික ඩීසල් ගිවිසුම යටතේ ලබා ගැනීමට නියමිත ටොන් 180,000ක ඩීසල් තොගයට අමතරව තවත් ඩීසල් තොගයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවද සඳහන් වේ.
ඒ අතර, නේපාල තෙල් සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කුමාර් ප්‍රකාශ කර ඇත්තේ, මාසිකව ඉන්දීය තෙල් සංස්ථාවෙන් ආනයනය කරන LPG ටොන් 48,000ක සැපයුමට අමතරව තවත් ටොන් 3,000ක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවයි.
ඉන්දියාව වාර්ෂික බොරතෙල් අවශ්‍යතාවයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන අතර, වර්තමාන ඉන්ධන හිඟය සඳහා විකල්ප විසඳුම් සොයමින් සිටින බවද වාර්තා වේ. එසේම, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන නෞකා 20කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා ඉරානය සමඟ සාකච්ඡා පවත්වාගෙන යමින් සිටින බවද සඳහන් වේ.