සම්බන්ධතා ගිලිහී ගිය ආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයි
මිනිසාගේ අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, ගගනගාමීන් සිවුදෙනෙකු රැගත් ආටිමිස් II (Artemis II) යානය මේ වන විට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත සාර්ථකව ඇතුළු වී තිබේ.
පසුගිය අප්‍රේල් පළමුවැනිදා ආරම්භ කළ මෙම ඓතිහාසික ගමන මේ වන විට එහි තීරණාත්මක සංධිස්ථානයකට ළඟා වී ඇත.
මෙරට වේලාවෙන් හෙට (07) අලුයම 4:35 ට මෙම යානය සිය මෙහෙයුමේ උපරිම දුර ප්‍රමාණය වෙත ළඟා වීමට නියමිතය.
එහිදී ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,757ක දුරක් ගමන් කරනු ඇති අතර, එය මිනිසෙකු පෘථිවියෙන් ඔබ්බට අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
මෙය මීට වසර 56කට පෙර, එනම් 1970 වසරේදී ඇපලෝ 13 මෙහෙයුමේ නියමුවන් තැබූ වාර්තාව අභිබවා යාමකි.
මෙම සුවිශේෂී ගමනේදී ආටිමිස් ගගනගාමීන් සඳේ අඳුරු පස (Far side of the Moon) සමීපව නිරීක්ෂණය කිරීමට නියමිත අතර, එමගින් අනාගත චන්ද්‍ර ගොඩබැසීම් සඳහා අවශ්‍ය තීරණාත්මක දත්ත රැසක් ලබා ගැනීමට විද්‍යාඥයින් අපේක්ෂා කරයි.
මිනිසා නැවතත් සඳ මත පා තැබීමේ සිහිනය යථාර්ථයක් කිරීමට තැබූ දැවැන්තම පියවරක් ලෙස මෙම මෙහෙයුම සැලකේ.