මුහුණු ආවරණ නැතිව ගියොත් වෙන්නේ මේකයි...?

covid19 arrest ajith rohana lock down face mask
By Sewvandhi Aug 14, 2021 02:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින සිට මුහුණු ආවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. මේ අනුව කිසිම හේතුවක් නිසා මුහුණු ආවරණයක් නො පැලඳ නිවසෙන් එළියට නොයන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොවිඩ් 19 වෛරසය පෙර නොවූ විරූ පරිදි ඉතාමත් සීඝ්‍රයෙන් දිවයින පුරා පැතිර යන බවත් එය මර්දනය කිරීමට නම් මූලික සෞඛ්‍ය නීතිරීති වලට ජනතාව දැඩිව අනුගත විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

2020 ඔක්තෝබර් මස 17 වන දින ප්‍රකාශයට පත් කෙරුණු මහජන ආරක්ෂාව පිළිබඳ විශේෂ ගැසට් පත්‍රයෙන් මුහුණු ආවරණ පැළඳීම පිළිබඳව වන නීතිමය තත්ත්වය පැහැදිලි කර තිබෙනවා. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නිකුත් කරන ලද මෙම ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථානයක මුහුණු ආවරණ පැළඳ නොසිටින යම් තැනැත්තෙකුට එරෙහිව නිරෝධායන නීතියට අමතරව අපරාධ නීතිය යටතේ ද දඬුවම් පැමිණවිය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

ඒ අනුව එවැනි වරදක් සිදු කරන තැනැත්තෙක් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටින්නේ.

මෙම නීතිය යටතේ මේ වන විටත් මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටි පුද්ගලයෙන් පනස් තුන් දහසකට අධික පිරිසක් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට අත්අඩංගුවට ගෙන ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

මෙම නවතම තත්ත්වය සම්බන්ධයෙන් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටත්, අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මේ අනුව මුහුණු ආවරණ නොමැති සහ නිසි ආකාරයෙන් මුහුණු ආවරණ පැළඳ නොසිටින පුද්ගලයින් අරඹයා අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක වනු ඇති. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now