අත්අඩංගුවට ගත් 44 දෙනාගේ ඇන්ටිජන් පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙයි (VIDEO)

covid19 pcr ajith rohana antigen johsap staly
By Sewvandhi Aug 05, 2021 01:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (04) පැවති ගුරු - විදුහල්පති විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් -19 ආසාදිතයින් නොවන බවට ඇන්ටිජන් පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ අනුව එම සැකකරුවන් අද (05) අධිකරණයට ඉදිරිපත් කරන බවය.

මේ අතර ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තෙක් සිය විරෝධතාව අත්නොහරින බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ මෙම පිරිස අතර ගුරුවරුන් 22ක්, ගුරුවරින් 16ක් සහ විරෝධතාවට සහභාගී වූ පිටස්තර පුද්ගලයන් 6 දෙනෙකු වන බවයි.

 අත්අඩංගුවට ගත් පිරිස අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ. විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එම දැනුම්දීමට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඔවුන් පැමිණී වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලය අසළ පැවති විරෝධතාව නිම කර යළි ගමන් කරමින් සිටියදියි. අයුතු අවහිරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ ක්‍රියාත්මක වන නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ඉල්ලා අද උදෑසන කොට්ටාව, වැලිසර, කඩවත සහ මොරටුව යන ප්‍රදේශවලින් ගමන් ආරම්භ කළ මෙම විරෝධතා රථ පෙළපාලිය මාර්ග හතරක් ඔස්සේ අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට ළඟාවුණා. ඒ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය මෙන්ම අවට මාර්ගවලද ඇතිවූයේ දැඩි රථවාහන තදබදයක්.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණි පසු වාහනවල නළා හඬවමින් විරෝධතාවයේ නිරතවුණා. පසුව විරෝධතාව පැවැත්වෙන ස්ථානයට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණි අතර, එහිදි ඔවුන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් හා ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ අතර සංවාදයක්ද ඇතිවුණා.

මීට අමතරව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති කිහිපයක් අද උදෑසන මහනුවර සිට කොළඹ බලා විරෝධතා පා ගමනක් ආරම්භ කළා. මහනුවර පොදු වෙළඳපොල අසළින් ආරම්භ කළ එම පා ගමන ලබන සඳුදා කොළඹට ළඟාවීමට නියමිතව තිබෙනවා. ඊට සමගාමීව අත්සන් දස ලක්ෂයක පෙත්සමකට අත්සන් ලබාගැනීමද සිදුකරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now