හමුදා කැලෑ ඇඳුම් ඇඳගෙන සිවිල් ජනතාවට පිස්සු නටන්න බෑ..එහෙම වුනොත් සිදු කරන දේ හමුදා ප්‍රධානීන් කියයි..

By Sewvandhi Jan 15, 2022 07:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනයාට සිවිල් ජීවිතයේ එදිනෙදා භාවිතය සඳහා යොදා ගත නොහැකි බව, යුද හමුදා ප්‍රධානීන් නැවත වරක් අවධාරණය කරනවා.

මේ කරුණු හෙළිවූයේ, යුද හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් මැසීම සඳහා භාවිත කරන රෙදි යොදා ගෙන නිර්මාණය කරන ලද ගවුමක් ඇඳ ගත් තරුණ කාන්තාවක් නිකුත් කළ ටික් ටොක් විඩියෝවක් සම්බන්ධයෙන් අප යුද හමුදා උසස් නිලධාරීයෙකු ගෙන් සිදුකළ විමසීමකදීයි.

මෙම combat cama හෙවත් යුධ හමුදා සංග්‍රාමික කැලෑ ඇඳුම් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා නිකුත් නොකරන බවත්, ඒවා ආනයනයට සහ මෙරට නිෂ්පාදනයට පවා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතු බවත්, අදාල උසස් හමුදා නිලධාරියා කියා සිටියා. 

 එමෙන්ම, එම ඇඳුම් භාවිත කර මෙරට ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය කිරීම සඳහා ද අවසර ලත් නිමි ඇඳුම් නිෂ්පාදන ආයතන ගණනාවක් ඇති බවත්, ඒවා ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත්, ඔහු කියා සිටියා.

කෙසේවෙතත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ, විශේෂ අවස්ථාවන් සහ විලාසිතා සන්දර්ශන සඳහා හෝ නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාවන් සඳහා පමණක් විශේෂ අවසරයක් සහිතව එම රෙදි භාවිත කර නිර්මාණය කරන ලද ඇඳුම් නිර්මාණ භාවිත කළ හැකි බවයි.  

කෙසේ වෙතත් එම ඇඳුම් නිර්මාණ හෝ එම නිෂ්පාදන අදාළ අවස්ථාවට පමණක් භාවිත කළ යුතු බවටත්, ඔහු අවධාරණය කළා.

මේ ආකාරයෙන් යුධ හමුදා කැලෑ ඇඳුම් අවභාවිත කරන සිවිල් පුද්ගලයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන යුධ හමුදා ආඥා පනතේ ඇති බවත්, එම උසස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now