ට්‍රම්ප් හා නෙතන්යාහු අතර එකඟතාවක්
ඉරානයට එරෙහිව දින 12ක් තිස්සේ පැවැති යුද්ධය අවසන් වීමෙන් පසු, අගමැති බෙන්ජමින් නෙටන්යාහු සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමට එකඟ වී තිබෙනවා.
ඒ අනුව ගාසා තීරයේ යුද්ධය සති දෙකක් ඇතුළත අවසන් වන බවට නායකයින් දෙදෙනා එකඟ වී ඇති අතර, හමාස් වෙනුවට අරාබි රාජ්‍යයන් හතරක් එක්ව ගාසා තීරය පාලනය කරනු ඇති බවටද සදහන්.
එහිදී සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරිමටද එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
එවන් පසුබිමක ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත යවනු ලබන සහනාධාර යළි නවතා දමා තිබෙනවා.
ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය විසින් එම ආධාර කොල්ලකන බැවින් මෙම තීරණයට එළඹුණු බවයි.
මේ අතර ඉරානය පවසන්නේ අමෙරිකා එක්සත් ජනපදය සමග න්‍යෂ්ටික සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බවයි.
ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරග්චි මේ බව කියා සිටියේ, අදාළ සාකච්ඡා ලබන සතියේ යළි ඇරැඹෙන බවට අමෙරිකා ජනාධිපතිවරයා කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
''අපගේ තීරණ පදනම් වන්නේ ඉරානයේ අවශ්‍යතා මත පමණයි,අපගේ අවශ්‍යතා මත නැවත සාකච්ඡා අවශ්‍ය නම්, අපි එය සලකා බලනවා. නමුත් මෙම අදියරේදී, කිසිදු ගිවිසුමක් හෝ පොරොන්දුවක් ලබා දී නොමැති අතර කිසිදු සාකච්ඡාවක් සිදුවී නැහැ.
අපි සටන් විරාමයක් පිළිගන්නේ නැහැ, මම කිව්වා වගේ අපි කිසිම සටන් විරාමයක් පිළිගන්නේ නැහැ, අපි මෙහෙයුම් නැවැත්වීම පිළිගන්නේ නැහැ, නමුත් සියොන්වාදී තන්ත්‍රය එහි ප්‍රහාර දිගටම කරගෙන නොයන්නේ නම්, අපටත් එය දිගටම කරගෙන යාමට අදහසක් නැහැ."
ධවල මන්දිරය පවසන්නේ පසුගිය 21 වෙනිදා ඉරානයේ ෆෝඩෝ, එස්ෆහාන් සහ නටාන්ස් යන ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3ට අමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමට පෙර ඉරානය එම මධ්‍යස්ථාන වලින් යුරේනියම් ඉවත් කරගෙන නොමැති බවයි.
ඒ එම මධ්‍යස්ථාන විනාශ වි නොමැති බවත් ප්‍රහාරයට පෙර සියල්ල ඉවත් කිරිමට කටයුතු කළ බව ඉරානය නිවේදනය කළ පසුබිමකයි.
එමෙන්ම එක්සත් ජනපදය චීනය සමඟ ඛනිජ සම්පත් අපනයනය කිරීම් කඩිනම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණ ඇති බව ධවල මන්දිරය පවසනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, එක්සත් ජනපදය චීනය සමඟ ඒ සම්බන්ධ ගිවිසුමක්ද අත්සන් කළ බවයි.
