සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කළුතරදී පැවැත්වෙන මහා පුණ්‍යකර්මය
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවය 2026 ජූලි 09 වන දා සිට 22වන දා දක්වා 400කට අධික සාමණේර හිමිපාණන් වහන්සේගේ සහභාගීත්වයෙන් කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතව ඇත.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිත මහා විහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ සූදානම සහ සංවිධාන කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවැත්විය
ඒ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමිපාණන් වහන්සේගේ සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙනි
උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් ජූලි 09වන දා සවස 3.00ට කළුතර බෝධිය අභියසදී පැවැත් වේ තවද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වසර තුනකට වරක් සිදු කෙරෙන රාජ්‍ය උපසම්පදා විනය කර්මය මෙවර පැවැත්වෙන්නේ වසර 9කට පසුව වීම විශේෂත්වයක් වන බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි මස 01වන දා ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගැනීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ කළ ඉල්ලීමකට අනුව අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට සැලසුම් කර ඇත .
ඒ අනුව, ජනාධිපති කාර්යාලයේ මැදිහත් වීම මත රාජ්‍ය ආයතනවල, ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ පෞද්ගලික ආයතන ගණනාවක සහාය ඇතිව අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම මහෝත්සවය සාර්ථකව පැවැත්වීම සහ සංවිධාන කටයුතු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කර තිබේ.