තනිව රාජකාරියේ හිටියත් ට්‍රැෆික් වැරදිවලට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? - සමාජ මාධ්‍යවල ප්‍රශ්නවලට පොලීසියෙන් දුන්න උත්තරය

Report

නිල ඇඳුමින් සැරසී සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට මෝටර් රථවාහන පනත යටතේ රථවාහන වැරදි සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලය පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය රථවාහන පොලිසියට අනුයුක්ත නිලධාරීන්ට පමණක් සීමා නොවන බවයි.

ඒ අනුව, නිල ඇඳුමින් සැරසී සිටින ඕනෑම පොලිස් නිලධාරියෙකුට තනිව රාජකාරියේ නිරතව සිටියදී වුවද රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ඔහු පැහැදිලි කළේය.

රථවාහන නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට පවතින බලතල පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම කරුණු අනාවරණය කළේය.

මේ අතර, රථවාහන වැරදි සිදුකරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැඟවී සිටීම සම්බන්ධයෙන් මතු වූ ගැටලු පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය.

රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගැනීම සඳහා පොලිස් නිලධාරීන් සැඟවී සිටීම අවශ්‍ය නොවන බවට පොලිස්පතිවරයා සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද සහකාර පොලිස් අධිකාරී වූට්ලර් වැඩිදුරටත් සඳහන් කළේය.