රිය පදවන ඔබට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - අයහපත් කාලගුණයෙන් මාර්ග අනතුරු අවදානම ඉහළට
මේ දිනවල මාර්ග අනතුරුවල වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්, පවතින අයහපත් කාලගුණය හමුවේ සිදුවන බරපතළ රිය අනතුරු පිළිබඳව පොලීසියේ විශේෂ අවධානය යොමුව ඇති බවත් රථවාහන භාර නියෝජ්ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.
අද (26) පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වර්ෂාව පවතින අවස්ථාවලදී පමණක් නොව, වර්ෂාවට පෙර අඳුරු කාලගුණික තත්ත්වයන් යටතේදී ද රිය අනතුරු සිදුවීමේ අවදානම ඉහළ යන බවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගයේ දෘශ්යතාව අඩුවීම නිසා ඉදිරියෙන් පැමිණෙන වාහන සහ මාර්ගයේ ඇති බාධක පැහැදිලිව හඳුනාගැනීමට අපහසු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් ඇතුළු සියලුම රියදුරන් අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වැළකී සිටිය යුතු බව නියෝජ්ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.
හදිසි අවස්ථාවකදී වාහනය පහසුවෙන් පාලනය කරගත හැකි ආරක්ෂිත වේගයකින් රිය ධාවනය කිරීමත්, අධිවේගී මාර්ගවල සහ අනෙකුත් මාර්ගවල ගමන් කරන රියදුරන් හා මගීන් නිසි පරිදි ආසන පටි පැළඳීමත් අත්යවශ්ය බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම, දෘශ්යතාව අඩුවීම හේතුවෙන් ඉදිරියෙන් සහ පසුපසින් පැමිණෙන වාහන නිරීක්ෂණය කිරීම අපහසු විය හැකි බැවින්, වාහන අතර ප්රමාණවත් ආරක්ෂිත පරතරයක් පවත්වාගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම, රාත්රී කාලයේදී සහ අඳුරු කාලගුණික තත්ත්වයන් යටතේ තමන්ව පැහැදිලිව හඳුනාගත හැකි ආරක්ෂිත උපකරණ භාවිත කිරීම සහ අනෙකුත් වාහන සමඟ සුදුසු පරතරයක් පවත්වාගැනීම වැදගත් බව ද සඳහන් කළේය.
අධික වේගය, අඩු දෘශ්යතාව සහ වර්ෂාව හේතුවෙන් මාර්ගවල ඇතිවන අවදානම් නොසලකා හැරීම බරපතළ අනතුරුවලට හේතු විය හැකි බැවින්, මාර්ග නීතිවලට අනුකූලව වඩාත් සැලකිලිමත්ව හා ආරක්ෂිතව රිය ධාවනය කරන ලෙස නියෝජ්ය පොලිස්පතිවරයා සියලුම රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.