".රංගනයට එන්න හිතුවෙවත් නෑ..මේක දෙවියෝ දුන්න දෙයක්." පකිස්තානු ටෙලි කතා මාලාවක රඟන ශ්‍රී ලාංකේය නිළි ටාෂියා කාලිදාස කියන කතාව..(PHOTOS)

ACTRESS GOSSIP TASHIYA KALIDAS PARKISTAN ARMY MOVIE
By Sewvandhi Nov 29, 2021 11:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පකිස්තානයේ රූගත කරනු ලබන Sinf-e-Aahan (women of steel) අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාව ගැන මේ වෙද්දී බොහෝ දෙනා කතා වෙනවා. ඒ කිසිවක් නිසා නොව එහි රංගන දායකත්වය ලබා දෙන ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක් සිටින නිසා. ඒ වෙන කවුරුත් නොව මේ වෙද්දී ජනප්‍රිය ළාබාල රංගන ශිල්පිනියක් වන ටාෂියා කාලිදාස. මේ කතාබහ ඇය ගැනයි.

නම - යෙහාලි ටාෂියා කාලිදාස.

ගම - නුවර අම්පිටිය

පාසල - Lexicon ජාත්‍යන්තර පාසල

පවුලේ විස්තර - අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. අම්මා ගෘහණියක්. තාත්තා - සංචාරක අංශයේ වැඩ කරන්නෙ. අක්කා චීනයේ උසස් අධ්‍යාපන ලබලා දැන් ෆාමසි එකක රැකියාව කරනවා.

පාසලේ කලා නිර්මාණ වලට දායක වෙලා තියෙනවද?

සම්බන්ධ වෙලා නැහැ. මොකද නාට්‍ය එහෙම තිබුණේ නැහැ. මම ඩාන්සින් කළා. පාසල් කාලේ ඉඳන් තියෙන හීනයක්ද මේ රංගනය අනේ නැහැ. මම තාම ඉගෙන ගන්නවා. මට තවම වයස අවුරුදු 18යි. 2023 වසරේදී තමයි උසස්පෙළට පෙනී ඉන්නේ. මගේ හීනේ වුණේ ගුවන් සේවිකාවක් වෙන්නයි. තාමත් ඒ හීනය තියෙනවා. නමුත් අහම්බෙන් මේ ක්ෂේත්‍රයට ආවේ.හැබැයි ආසාවෙන් දැන් රංගන කටයුතු කරගෙන යනවා.

කොහොමද රංගනයට එකතු වෙන්නේ?

පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ. මම මුලින්ම එන්නේ වෙළෙඳ දැන්වීම්වලින්.

දැන්වීම ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

මගේ ෆොටෝස් ඉන්ස්ටග්‍රෑම්එකෙන් දැකලා චතුර ෆෙරෝෂ් තමයි මුලින්ම කතා කළේ. එතකොට මුලින්ම රංගනයට එන්නේ සුජීව ගෙ නාට්‍යකින් . එතනදී මට වාසනාව ලැබුණා දුලීකා මාරපන වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියන් එක්ක වැඩ කරන්න. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.

ඒ මුල්ම රංගන අත්දැකීම කොහොමද?

ඉතාම හොඳයි. මොකද ගොඩක් ප්‍රවීණ අය එක්ක එකට රඟපාන්න ලැබුණා. රංගන ජීවිතේට ලොකු අත්දැකීම් ටිකක් එකතු වුණු නිර්මාණයක්.

සිනමාවට ආරාධනා එහෙම කොහොමද?

අරුණ ජයවර්ධනගෙ Happy Birth Day චිත්‍රපටයේ රඟපෑවා.

කොහොමද මේ පාකිස්ථාන ටෙලි කතා මාලාවට අවස්ථාව ලැබෙන්නේ?

මේ අවස්ථාව උදා කරන්නේ කර්නල් රෝහණ වික්‍රමසිංහ විසින්. ඔහු තාත්තාගේ යාළුවෙක්. ඔහු තමා කිව්වේ මෙහෙම පාකිස්ථාන ඩ්‍රාමා එකක් තියෙනවා ඔයා බයෝ ඩේටා එකක් එවන්න කියලා. එච්චර අපි බලාපොරොත්තු තියා ගත්තේ නැහැ. නමුත් පස්සේ ඔහු අපිට කිව්වා මම තේරිලා ඉන්නවා කියලා. ඊට පස්සේ පකිස්ථානයේ අධ්‍යක්ෂකවරයා එක්ක සූම් වලින් කතා කළා. ඔහු කිව්වා උර්දු වලින් දෙබස් තියෙන වීඩියෝ එකක් එවන්න කියලා. ඒක යැව්වම ඔහු මාව තෝරා ගත්තා.

විදෙස් ශිල්පින් එක්ක රංගනයේ යෙදීමෙන් ලැබුණු අත්දැකීම ගැන කිව්වොත්

ඇත්තටම බොහොම හොඳ අත්දැකීමක්. එහෙ ඉන්න හොඳම නළු නිළියන් තමයි ඒකට දායක වෙලා තියෙන්නේ. මම Sajal Aly ගැන කිව්වොත්, ඇයගේ මම් කියන චිත්‍රපටය මම බලලා තිබ්බා. ඉතින් ඇය මම මුල ඉඳන්ම දැනගෙන හිටියා. ඒ හැමෝම හරිම දක්ෂයි.එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. එතන තව කෙනෙක් හිටියා Yumna Zaidi. එයා හොඳම සහ ජනප්‍රියම නිළිය කියන සම්මාන දෙකම ලබා ගත්ත කෙනෙක්. ඉතින් ඒ වගේ අය එක්ක රඟපාන්න මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන ගොඩක් සතුටුයි.

මේ Sinf-e-Aahan (women of steel)අයෝමය ගැහැනිය ටෙලි කතා මාලාවේ කොටස් කියක් තියෙනවද?

කොටස් 26ක් තියෙනවා.

චරිතය ගැන කියමුද පොඩ්ඩක්

වැඩි විස්තර නම් චරිතය ගැන කියන්න බැහැ. ඒක නිර්මාණය තුළින්ම බලන එක තමයි මම හිතන්නේ හොඳම. කෙටියෙන්ම කියනවා නම් මම ශ්‍රී ලංකාවෙන් ගිය දක්ෂ කැඩෙට් කෙනෙක් විදියට මම ඉන්නේ.

අහම්බෙන් පටන් ගත්ත රංගන ජිවිතේ අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ

මම කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න හිතුවේ නැහැ. ඒ වුණාට මම හිතන්නේ මේක මට දෙවියන් දීපු එක. මේක මගේ වෘත්තීය බවට පත් කරගන්නේ නැහැ. මගේ අරමුණ ගුවන් සේවිකාවක් වෙන එක. ඒ අතරේ ලැබෙන නිර්මාණ වලට දායක වෙනවා.

රංගන ජිවිතේ ගත්තම ඔබේ ඉලක්කය මොකක් ද?

කවදා හරි දවසක හොඳම නිළිය හෝ ජනප්‍රියම නිළිය සම්මානය ගන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සරහට බලමු.

(උපුටාගැනීම - රසඳුන පුවත් පත ) 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery