“සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාගේ මුහුණේ තීන්ත ගාලා දේශපාලකයාගේ පින්තූරය ළඟ බලෙන් වන්දවලා” - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවක් මහාරාෂ්ට්‍රයෙන් එළියට [VIDEO]
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන මහේෂ් මෝටේට, මහාරාෂ්ට්‍ර නවනිර්මාණ සේනා (MNS) සාමාජිකයන් පිරිසක් විසින් බලපෑම් කළ බවට වාර්තා පළ වී තිබේ.
රාජ් තැකර් සම්බන්ධයෙන් පළ කළ බව කියන රීල් වීඩියෝවක් හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වාර්තාවලට අනුව, MNS සාමාජිකයන් විසින් මෝටේව පූනේහි කට්රාජ් ප්‍රදේශයේදී අල්ලාගෙන පක්ෂ කාර්යාලයකට රැගෙන ගොස් තිබේ.
එහිදී රාජ් තැකර්ගේ ඡායාරූපයක් ඉදිරියේ වැඳ වැටී සමාව ඉල්ලා සිටීමට ඔහුට බල කර ඇති බව සඳහන් වේ. එමෙන්ම ඔහුගේ මුහුණේ කළු තීන්ත ආලේප කර, හිස මත සෙරෙප්පු තබාගෙන උඩට පහළට නැමීම් සිදුකරන ලෙසද ඔහුට බල කර ඇති බව වාර්තා වේ.
පසුව සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා වීඩියෝවක් පටිගත කිරීමටද ඔහුට සිදුව ඇති බව එම වාර්තාවල දැක්වේ. එම වීඩියෝවේදී මෝටේ, රාජ් තැකර් සහ MNS සාමාජිකයන්ගෙන් සමාව ඉල්ලා ඇති අතර, තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබේ.
MNS හි හඩප්සර ආසනයේ උප කොට්ඨාස සභාපති ශුභම් ජග්ඩේල් පවසා ඇත්තේ, මෝටේ මීට දින 15කට පමණ පෙර පළ කළ වීඩියෝවකින් රාජ් තැකර් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති බවයි.
මෝටේ කේරළයේ දින 15ත් 20ත් අතර කාලයක් රැඳී සිට ඇති අතර, ඔහු යළි පූනේ වෙත පැමිණ කට්රාජ් ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබීමෙන් පසු MNS සාමාජිකයන් ඔහුව රැගෙන ගිය බවද ජග්ඩේල් පවසා තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජග්ඩේල් පවසා ඇත්තේ එය "MNS ක්‍රමය" බවයි. රාජ් තැකර්ට අපහාස කරන පුද්ගලයන්ට මෙවැනි ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.