සූර්යාගෙන් ප්‍රබල ගිනිදැල්ලක් නිකුත්වෙයි.. විදුලිය සහ ජංගම දුරකථන ජාලා පවා බිඳවැටෙයි..අහස කොළ සහ රෝස පැහැයට හැරුණ හැටි මෙන්න(PHOTOS/VIDEO)
දශක දෙකකින් පසු පෘථිවියට බලපෑම් එල්ල කළ දැවැන්ත සූර්ය කුණාටුවක් හේතුවෙන් අවුරෝරා බොරයාලිස් එනම් උතුරු එළි සංසිද්ධිය දැකගැනීමේ අවස්ථාව පෘථිවියේ උතුරු කලාපීය රටවල ජනතාවට හිමිව තිබෙනවා.
ඒ අනුව, යුරෝපා රටවල අහස රෝස සහ කොළ පැහැයෙන් වර්ණවත් වී තිබීම බොහෝදෙනෙකුට දකින්නට ලැබීම විශේෂත්වයක්.
මෙම තත්ත්වය බලපා තිබුණේ සූර්යාගෙන් නිකුත්වූ ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් බවයි විද්‍යාඥයින් පවසන්නේ.
අමෙරිකාවේ ජාතික සාගර සහ වායුගෝලීය පරිපාලනයට අනුව මෙය වසර 21කට පසු පෘථිවියට බලපෑ ප්‍රබලතම භූ චුම්බක කුණාටුව වන අතර එය පස්වැනි එනම් G5 මට්ටමක පැවතීමද විශේෂත්වයක්.
එහි බලපෑමෙන් උතුර එළිවලට අමතර ගෝලීය විදුලි සහ සන්නිවේදන පද්ධතිවලට බලපෑම් එල්ල විය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.
ඒ අතරට විදුලි බිඳවැටීම්, ජංගම දුරකථන ජාල බිඳවැටීම්, රේඩියෝ සංඥා බිඳවැටීම්, චන්ද්‍රිකා ක්ෂයවීම් වැනි ආපදා අයත් වන බවයි පැවසෙන්නේ.
අවසන්වරට මෙවැනි සූර්ය කුණාටුවකින් පෘථිවියට බලපෑම් එල්ල වී ඇත්තේ 2003 වසරේ ඔක්තෝබර් මාසයේදී බවයි වාර්තා වන්නේ.
එහිදී ස්වීඩනයේ සහ දකුණු අප්‍රිකාවේ විදුලි පද්ධතිවලට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය විසින් මෙම සිදුවීමට අදාලව වීඩියෝවක් ද නිකුත් කර තිබුණා.
එම වීඩියෝව සහ ඡායාරූපයන් පහතින් නරඹන්න,