හෙටත් අනිද්දාත් ඉන්ධන නැ- CPC පැහැදිලි කරයි
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා ඇත්තේ, සාමාන්‍ය පරිදි හෙට සහ අනිද්දා දිනවල බෙදුම්කරුවන් වෙත ඉන්ධන බෙදාහැරීම් සිදු නොකරන බවයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ලබන මැයි මාසය දක්වා මේ වන විට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්ය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් සලකා QR කේත ක්‍රමය යළිත් ක්‍රියාත්මක කළද, බෙදාහැරීම් අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඔහු පෙන්වා දුන්හ.
පාරිභෝගිකයින් වෙත අඛණ්ඩ ඉන්ධන සැපයුම සහතික කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත්, චෙක්පත් හෝ ඇණවුම් පෙර දිනයේදීම අදාළ අංශවලට භාරදීමෙන් ප්‍රමාදයන් වළක්වා ගත හැකි බවත් සංස්ථාව නිවේදනය කළේය.
කෙසේ වෙතත්, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා අදහස් දක්වමින් පැවසුවේ, අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකා ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කළ යුතු බවයි.
මේ අතර, වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඔත්තේ හෝ ඉරට්ටේ අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමය ඊයේ ආරම්භ වූ අතර, අද (20) ඉරට්ටේ අංක සහිත දිනයක් බැවින් ඉන්ධන ලබාගැනීමට හැකි වන්නේ අවසන් ඉලක්කම ඉරට්ටේ වන වාහනවලට පමණි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, QR කේතය සම්බන්ධ ගැටලු මේ වන විට විසඳා ඇති බවයි.
නමුත් QR ක්‍රමය ආරම්භ වී සතියකට ආසන්න කාලයක් ගතව ඇතත්, ඇතැම් වාහන හිමියන්ට තවමත් එක්වරක්වත් ඉන්ධන ලබාගැනීමට නොහැකි බව වාර්තා වේ. මේ සඳහා විශේෂ WhatsApp අංක (076 000 1919) හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.