නයි නටවන්නෙක් හොඳටම නයි නටවන්න ගිහින්.. අවසානයේ නතර වුණ තැන..

Report

නයි නටවන්නෙකුට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසුරිය මහතා නියම කළේ ය.

නයි නටවන්නෙක් හොඳටම නයි නටවන්න ගිහින්.. අවසානයේ නතර වුණ තැන.. | A Fine Of 25000 Rupees For A Snake Dancer

ඒ අනුරාධපුර පුදබිමේ සදකඩ පහන අසල මාර්ගයේ නාගයෙකු, පොළගෙකු, පිඹුරෙකු සහ රිළවෙකු නටවමින් ප්‍රදර්ශනය කළ නයි නටවන්නෙක්ට ය.

තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු භාරයේ සිටි සතුන් අතරින් පිඹුරා පමණක් වනයට මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වයා වනජීවි නිලධාරීන්ට ඊයේ (11) නියෝග කළේ ය.

අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය සඳහන් කළේ මෙම සතුන් නීතිවිරෝධීව ළඟ තබා ගැනීම සත්ව හිංසා පනතට අනුව වරදක් බව ය.

කෙසේ වෙතත්, නයි නටවන්නා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙන්වා දුන්නේ තම සේවාදායකයාගේ ජීවනෝපාය නයි නැටවීම සහ සතුන් ප්‍රදර්ශනය කර ආදායමක් උපයාගැනීම බව ය.

සැකකරු පදිංචිව සිටින ගම්මානයේ බොහෝ පිරිසක් මෙවැනි සතුන් ළඟ තබාගෙන සිටින බව ප්‍රකාශ කළ නීතීඥවරයා නාගයා, පොළගා සහ රිළවා යළි තම සේවාදායකයාට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේ ය.

කෙසේ වෙතත්, එයට පොලිසිය විරෝධය පළ කර සිටියේ ය.

පසුව දෙපාර්ශවයේ කරුණු සැළකිල්ලට ගනිමින් ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය කියා සිටියේ මෙම සතුන් මුදාහරින්නේ කා හටද යන නියෝගය අද ලබාදෙන බව ය.

අද දක්වා මෙම සතුන් පොලිස් ස්ථානයේ රඳවා ගැනීමට නොහැකි බවත්, රාජ්‍ය සේවක වර්ජනයක් පවතින නිසා අනුරාධපුර වනජීවී කාර්යාලයේ ද මෙම සතුන් රැඳවීමට නොහැකි බවත් පොලිසිය පැවසීය.

ඒ අනුව නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති නයා, පොළඟා සහ රිළවා අද දක්වා පමණක් සැකකරු භාරයේ තබා ගැනීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සතුන් තුන්දෙනා බැඳුම්කරයක් මත මුදාහැරීමට නියෝග කළේ ය.