පෙම්වතාගේ වෙනත් සබඳතාවයක් නිසා මහවැලි ගඟට පැන්න තරුණියගේ සිරුර හමු වූ තැන..(VIDEO)

By Sewvandhi Dec 19, 2021 10:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහවැලි ගඟට පැන්න යුවළ ගෙන් අතුරුදහන් වු තරුණියගේ සිරුර හමුවී තිබේ.

මහියංගනය වේරගංතොට පාලමෙන් එම තරුණිය මහවැලි ගඟට පැන තිබුණේ ඉකුත් 16 වනදාය. ඒ අනුව දින 3කට පසු පාලමේ සිට කිලෝමීටර් 8ක පමණ දුරින් ඇයගේ සිරුර අද (19) හමුවී තිබුණි.

ඒ මහියංගනය, හද්දත්තාව, ගඟේයාය ප්‍රදේශයේ මහවැලි ගඟේ අකුලක රැඳී තිබියදීය. ගවයන් බැඳීම සඳහා මහවැලි ගඟ ආසන්නයට ගිය පුද්ගලයෙකු අහම්බෙන් ඇයගේ සිරුර දැක තිබේ.

ඔහු විසින් ඒ බව පොලීසියට දැනුම්දී තිබුණි. ඉන් අනතුරුව ඇයගේ සිරුර මව හා ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

ඉකුත් 16 වනදා සවස 4.30ට පමණ මහියංගනය මහනුවර මාර්ගයේ මහියංගනය මහවැලි ගඟේ පාලම උඩින් තරුණ යුවළක් ගඟට පැන තිබුණි.

ගඟට පැන්න තරුණයා ගඟ පහළට පිහිනා ගොස්, ගොඩවී තිබූ අතර තරුණිය අතුරුදන් විය. පසුව අදාළ තරුණයා ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත්වී තිබූ බවද වාර්තා විය.

සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසුවේ මුලින්ම තරුණිය මහවැලි ගඟේ පාලමේ ඇන්දට නැග ගඟට පැන්න බවය. පසුව තරුණයාද ගඟට පැන්න බව ඔහු පැවසීය. කෙසේවෙතත් තරුණයා ගසාගෙන යන අයුරු පාලම මත සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබේ.

පසුව පොලීසිය එම ස්ථානයේ තිබී තරුණියගේ ගමන් මල්ලක් සොයාගත් අතර එහි ඔවුන් දෙදෙනාගේම හැඳුනුම්පත් තිබී සොයා ගත්තේය.

තරුණිය වයස අවුරුදු 19ක් වන රිදිමාලියද්ද, ගස්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. තරුණයා, රිදිමාලියද්ද, යල්අරාව, හෙවන් වත්ත, ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක අයෙකි. 

 තරුණිය පවුලේ දෙවැන්නා වන අතර, ඇයට වැඩිමල් අවුරුදු 24ක සොහොයුරෙක් හා අවුරුදු 07 බාල සොහොයුරෙක් ද සිටී. තරුණියගේ මව පවසා තිබුණේ දෙදෙනා අතර අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් පෙම් සබඳතාවයක් තිබු බවය. 

 තරුණයාගේ වෙනත් පෙම් සබඳතාවයක් පිළිබඳ අනාවරණයවීමෙන් තරුණිය මීට මාසයකට පමණ පෙර දෙදෙනා අතර තිබූ සම්බන්ධතාවය නවතා දමා තිබූ බවද ඇය සඳහන් කළාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now