මාස 9ක් කුසේ තියන් වැදූ දරුවා දරු ප්‍රසූතිය අතරේදි ඇදෙන් බිමට වැටෙයි.. රෝහලකින් වාර්තාවන භයානක පුවත..
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දරු ප්‍රසූතියක් අතරතුර හෙදියන්ගේ නොසැලකිල්ලෙන් බිමට වැටීම නිසා තම බිලිඳා මිය ගිය බවට මව්පිය යුවළක් චෝදනා කරනවා.
පසුගිය 10 වනදා වූ මෙම සිද්ධියෙන් පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තම බිලිඳා අද (13) උදෑසන මියගිය බවයි ඔවුන් පවසන්නේ.
අනුරාධපුර රඹෑව කල්ලංචිය ප්‍රදේශයේ 35 හැවිරිදි ගැබිනි කාන්තාවක් දරු ප්‍රසූතිය සඳහා කල්ලංචිය රෝහලට පසුගිය අගොස්තු 10 වනදා ඇතුළත් කර තිබුණා.
යම් අසීරු තත්ත්වයක පසුවීම නිසා එදිනම ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති අතර අනතුරුව ප්‍රසූතිකාගාරයට යොමු කර තිබූණා.
ඇයට එයිදි පිරිමි දරුවකු හිමි වුණත් ප්‍රසූතිය අවස්ථාවේ හෙදියන් නොසැලකිලිමත්ව කටයුතු කිරීම හේතුවෙන් සිය දරුවා බිම වැටුණු බවට ඇය සහ ඇයගේ සැමියා චෝදනා කරනවා.
මියගිය දරුවාගේ මව තක්ෂිලා උදයංගනගේ අදහස පහතින්,
"මගේ බබා ඉක්මන්ටම හම්බවුණා. ඒ වුණාට හම්බවුණාට පස්සේ බබාව බිමට වැටුණා. ළඟ හිටියට අල්ලගන්න කාටවත්ම බැරි වුණා. බබාව බිමට වැටුණට පස්සේ බබාව අරගෙන දිව්වා බේබි කාමරයට."
මියගිය දරුවාගේ පියා කුමාරසිංහ දිසානායක,
"බබා හම්බවෙනකොට ඇද පල්ලෙහාට කරලා තියෙනවා. ඇද පල්ලේහාට කරනකොට බබා අල්ලගන්න කෙනෙක් ඉඳලා නෑ. බබා බිමට වැටිලා තියෙනවා. ඔළුව වැදිලා තියෙනවා බබාගේ. ඊට පස්සේ මිස් කෙනෙක් ඇවිත් බබාව උස්සන් දුවලා තියෙනවා. අම්මටවත් පෙන්නලා නෑ. බබා මෙයාලගේ අතින් වැටුණා කියලා ඒ වාට්ටු දෙකේ කට්ටියත් කියනවා."
"බබාට අමාරුයි කියලා තමයි කියන්නේ. හදවත වැඩකරනවා අඩුයි කියලා තමයි කියන්නේ. එයාලා පිළිගත්තේ නෑ. බබා වර්ධනය වෙලා මදී කියලා තමයි කිව්වේ."
"ගෙනියන්න දෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මම පාංශුකූලය දෙන්න ඉල්ලුවා. අනිත් කට්ටියගේ දරුවන්ට ඊයෙත් පාංශුකූල දෙකක් විතර කළා. මගේ දරුවගේ පාංශුකූලයවත් දෙන්න දෙන්නේ නැහැ. ඇයි මගෙත් එක්ක තරහා මෙහෙම? මම අසාධාරණයට කතාකළා. මට සාධාරණයක් කරන්න. මගේ දරුවාට සාධාරණයක් කරන්න."
දරු ප්‍රසූතිය වන අවස්ථාවේ බිලිඳා බිමට වැටී ඉන් බිලිඳාගේ හිසට බලපෑමක් සිදු වී ඇති බවයි අනුරාධපුර රෝහලෙන් ලැබුණු මවගේ රෝග විනිශ්චය තුණ්ඩුවේ සඳහන්ව තිබෙන්නේ.
එමෙන්ම උපතේදී බිලිඳා හැඬීමක් සිදුනොකළ බවද එහි තවදුරටත් සඳහන්ව ඇති අතර කෙසේ වෙතත් මරණ සහතිකයේ දැක්වෙන්නේ හෘදයේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් බිලිඳාගේ මරණය සිදුව ඇති බවයි.
- සිතුමි -
