අවුරුදු 88...හෙට අනිද්දා ලියනවලු... මෙතනින් බලන්න..
ඇය නමින් කේ. මිසලින් නෝනාය. 1937 උපන් ඇය සිය වැඩිමහල් දියණිය සහ මිනිබිරියක සමඟ පදිංචිව සිටින්නේ ප්රබුද්ධගම, අඟුරුවාතොට ලිපිනයේය. ඇයට දරුවන් හත් දෙනෙකි.
එයින් පිරිමි දරුවන් සියලු දෙනා හමුදාවට බැඳී සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් සිටිති.
කුඩා කල අවුරුදු එකොළහක් පාසල් ගොස් ඇය ඉන් පසු ගුරු සේවයට පිවිස අවුරුදු හතළිහක් පාසල්වල ඉගැන්වීම් කර මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින්නීය.
ඇගේ වයස දැන් අවුරුදු අසූ අටකි. ඇය දැන් ආයෙමත් මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න සැරසෙයි.
මට මුලින්ම ගුරු පත්වීම ලැබුණේ අවුරුදු 20දී. ඒ 1957අවුරුද්දේ නුවර මඩුගල්ල තිබෙන දුෂ්කරම කලවල ඉස්කෝලෙට. වික්‍රමරත්න ලොකු ඉස්කෝලෙ මහත්තයා තමයි මාව ඒ පාසලට අරන් ගියේ.
කඳු පල්ලම් නැඟලා බැහැලා කැලේ මැද්දෙන්ම පයින්ම ගිහින් එදා වැඩ භාර ගත්තා.
ඊට පස්සේ ටික දවසක් යනවිට පාසල් පරීක්ෂකයෙක් ඇවිත් මං ගැන දුක හිතිලා මට මාරුවීමක් දුන්නා.
ටිකක් පහසු තැනකට. අකුරණ බුලුගාතැන්න මුස්ලිම් ඉස්කෝලෙකට සිංහල උගන්වන්න.
හරි ගැටලුවක් වුණේ මට. මොකද මම දෙමළ දන්නේ නෑ. ඒ දරුවෝ සිංහල දන්නේ නෑ. මම නැවතිලා හිටියෙත් මුස්ලිම් ගෙදරක.
කොහොම වුණත් අමාරුවෙන් ඉගැන්වීම් කටයුතු කරගෙන ගියා. පසුකාලීනව මම මහරගම පමුණුව විද්‍යාලය, අලව්ව විද්‍යාලය, දියසෙන් පුර විද්‍යාලය, අරණායක බකුල්වල විද්‍යාලය, ගනේතැන්න මහා විද්‍යාලයන්හි රාජකාරි කළා.
ඊට පස්සේ එතැනින් කළුතර මියුසියස් ගුරු විද්‍යාලයට ගුරු පුහුණුව ලබා ගැනීමට පැමිණියා.
ඒ කාලේ අද වගේ නෙමෙයි. තොරතුරු දැනුම ලේසියෙන් ගන්න බැහැ. නමුත් මම පුහුණුව ඉතාම සාර්ථකව නිම කළා. පුහුණුවෙන් පසු මම ගියේ හොරණ කබල්ලාගොඩ පාසලට. ඊට පස්සේ බොහෝ කාලයක් රට වටා ඉස්කෝලවල සේවය කරපු මට මගේ ගම්පළාත වන අඟුරුවාතොට ප්රබුද්ධගම වේරවත්ත පාසලට මාරුවීමක් ලැබුණා.
මං හරි සතුටින් ගමට ආවේ …Ó නමුත් ඇගේ ඒ සතුට පාසල් පරීක්ෂකවරියක් වැඩි කලක් ඇයට භුක්ති විඳින්න ඉඩ දුන්නේ නැත.
නැවතත් ඇය වරකාගොඩ ඉස්කෝලෙට මාරු කළාය. අනතුරුව ගුරු දිවියේ අවසාන වසර කිහිපයේ ඇය ගත කළේ තම ගමට ආසන්නව පිහිටි රෙමුණ ගම්මානයේ රෙමුන මහා විද්‍යාලයේය. වසර හතළිහක් සාර්ථක සේවා කාලයකින් අනතුරුව 1996 වසරේදී ඇය ගුරු සේවයෙන් විශ්‍රාම ලබා ගත්තාය.
‘‘මම දැන් විශ්‍රාම අරගෙන අවුරුදු තිහකට ආසන්නයි. ගෙදරදොරේ වැඩපළ කරගෙන හොඳින් ජීවත් වෙනවා.
මැහුම් ගෙතුම් කරනවා. පන් මලු, පැදුරු වියනවා. දන් පින් කරනවා. සිල් ගන්නවා.
ඔය අතරේ මට හිතුණා. දෙමළ භාෂාව තවදුරටත් ඉගෙන ගන්න.මොකද අපට සමාජයේදී දෙමළ භාෂාව අවශ්‍ය වෙනවා. මට ගුරුවරයෙක් නැහැ. දෙමළ පොතපත හොයාගෙන තනියෙන් තමයි මම ඉගෙන ගත්තේ.
අවුරුදු 88ක් වෙන මම ලබන සතියේ අවුරුදු දාසයේ පොඩි දරුවෝ හරියට මගේ මුනුබුරු මිනිබිරියන් සමඟ එක්ක එකට විභාග ශාලාවේ වාඩිවෙලා දෙමළ විභාගෙ ලියනවා.
ඉගෙන ගන්න විභාග සමත් කරන්න වයස මට කිසිසේත් ප්‍රශ්නයක් නොවෙයි. මං හිතනවා මට විභාගය පාස් වෙන්න පුළුවන් කියලා. ඇගේ ඒ සිහිනය ඉටුවන්න ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අපිද සුබ පතමු.
