යාපනය කළඹමින් චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි

Report

 චෙම්මනි සමූහ මිනිවළ උතුරු පළාතේ විශාලතම සමූහ මිනිවළ වේ යාපනය චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවී ඇති සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලතම සමූහ මිනිවළ ලෙස සැලකේ.

ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ, මේ දක්වා මිනිවළෙන් මතුකරගෙන ඇති මිනිස් සිරුරු සංඛ්‍යාව 351 දක්වා ඉහළ ගොස් තිබේ. මෙයට පෙර උතුරු පළාතේ විශාලතම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පිහිටි ස්ථානයෙන් හමුවූ මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් සහිත මිනිවළයි.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා සඳහන් කළේ, චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දින අවසන් වන විට මිනිස් සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර, ඉන් 351ක කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවයි.

යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කැනීම් සිදු කෙරෙන අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් එම කටයුතු සඳහා එක්ව සිටිති.

2026 අප්‍රේල් 27 දින ආරම්භ වූ 6 වැනි අදියර තුළින් පමණක් මේ වන විට මිනිස් සිරුරු 112කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන තිබේ. කැනීම් අතරතුර කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද සොයාගෙන ඇති බව වාර්තා වේ.

මීට පෙර 2025 සැප්තැම්බර් 6 වැනිදා 5 වැනි අදියර අවසන් වන විට මිනිස් සිරුරු 239කට අදාළ අස්ථි කොටස් ගොඩගෙන තිබුණි.

දැනට සොයාගෙන ඇති සියලුම අස්ථි කොටස් සහ අනෙකුත් භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇත. යුද සමයෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ම සමූහ මිනිවළවල් හඳුනාගෙන තිබේ.

2013 වසරේ මන්නාරම තිරුකේදීශ්වරම් ප්‍රදේශයෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක අස්ථි කොටස් හමුවිය. එසේම 2018 සහ 2019 වසරවලදී මන්නාරම පැරණි සතොස පිහිටි ස්ථානයෙන් මිනිස් සිරුරු 342කට අදාළ අස්ථි කොටස් සොයාගෙන තිබූ අතර, පසුව සිදුකළ කාබන් පරීක්ෂණවලින් ඒවා ක්‍රිස්තු වර්ෂ 1450ත් 1650ත් අතර කාලයට අයත් විය හැකි බව අනාවරණය වී තිබුණි.

වැසි කාලගුණයත් සමඟ රට පුරා ළමුන් බිලිගන්නා බෝවන රෝග 5ක් ගැන වෛද්‍යවරුන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

වැසි කාලගුණයත් සමඟ රට පුරා ළමුන් බිලිගන්නා බෝවන රෝග 5ක් ගැන වෛද්‍යවරුන්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

තවද, 2023 සිට 2024 දක්වා කාලය තුළ මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් සිරුරු 52කට අදාළ අස්ථි කොටස් මතුකරගෙන ඇති අතර, ඒවා 1994 සිට 1996 දක්වා කාල වකවානුවට අයත් විය හැකි බවට නිලධාරීන් නිගමනය කර තිබේ.

කොක්කුතුඩුවායි කැනීම්වලින් අනතුරුව වාර්තා වූ චෙම්මනි සමූහ මිනිවළේ කැනීම් කටයුතු මේ වන විටත් අඛණ්ඩව සිදුකෙරෙමින් පවතී.