විවාහ වෙන්න නිවාස ඉදිකරන්න මැයි මාසයේ හොදම දින 05හ
2025 මැයි මාසය තුළ විවාහ කටයුතු, නව නිවාස ඉදිකිරීම ඇතුළු වැදගත් කරුණු රාශියක් සඳහා සුබ දින 05ක් යෙදී ඇත.
මැයි මස 02දා සිකුරාදා
මෙදින ප.ව. 1.11 දක්වා අද නැකැත පවතී. වෙසක් පුර විසේනිය තිථිය පෙ.ව. 9.20 දක්වා වන්නේය. මෙදින පෙ.ව. 9.20ට පෙර ගෙවැදීමට, උළුවහු තැබීමට, කුඩා දරුවන්ට ඉඳුල් කටගෑමට, හිසකෙස් කැපීමට ශුභයි. මුවසිරස, සිත, දෙනට, කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප. පුනාවස, විසා, පුවපුටුව නැකැත්වලින් උපන් අයට ශුභයි.
මැයි මස 07දා බදාදා
මෙදින “පුවපල්” නැකැත ප.ව. 6.21 දක්වාම පවතී. වෙසක් මස පුර දසවක සහ එකොළොස්වක තිථිය යෙදේ. බදාදා දිනයක පුවපල් නැකැත යෙදීම ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රය අනුව “සුස්චර” සුබ යෝගය යෙදේ. නැකැත් සහ තිථිද ශුභ වේ. නව නිවාස ඉදිකිරීමට, උළුවහු තැබීමට, ගෙවැදීමට, කුඩා දරුවන්ගේ හිසකෙස් කැපීමට, ඉඳුල් කටගෑමට ශුභයි. මෙම දිනය යොදා ගත හැකි වන්නේ අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙණ, හත, සුවණ නැකැත්වලින් උපන් අයට පමණි.
මැයි මස 08දා බ්‍රහස්පතින්දා
මෙදින වෙසක් මස පුර, එකොළොස්වක සහ දොළොස්වක තිථි යෙදේ. රාත්‍රි 9.09 දක්වාම “උත්‍රපල්” නැකැතයි. බ්‍රහස්පතින්දා දිනයක උත්‍රපල් නැකැත යෙදුණු විට දශ්ම, චර, කාණ දෝෂ භංගවන ආනන්දාදී අටවිසි මහ යෝග චක්‍රය අනුව “මාතාංග” නම් ශුභ යෝගය යෙදේ. විවාහ මංගල කටයුතු, නිවාස ඉදිකිරීම, ගෙවැදීම, උළුවහු තැබීම, කුඩා දරුවන්ගේ හිසකෙස් කැපීම, කන් විදීම, ඉඳුල් කටගෑම, පානීය ජලය ලබා ගැනීමට ළිං කැණීමට මෙදින ඉතාම යෝග්‍ය දිනයකි. මෙදින සුදුසු වන්නේ බෙරණ, පුවපල්, පුවසල, අස්ලිස, දෙට, රේවතී, පුනාවස, විසා, පුවපුටුප, රෙහෙණ, හත, සුවණ, මුවසිරස, සිත, දෙනට යන නැකැත්වලින් උපන් අයටයි.
මැයි මස 09දා සිකුරාදා
මෙදින පුරාම “හත” නැකැතයි. වෙසක් පුර දොළොස්වක තිථියයි. සිකුරාදා දිනවල “හත” නැකැත යෙදුණු විට, ධග්ධ, මරකාණ දේෂභංග කරන ආනන්දාදී අටවිසි වන යෝග චක්‍රය අනුව “අමෘත” නම් ඉතා ශුභ යෝගයද පවතී. නව නිවාස ඉදිකිරීමට, උළුවහු තැබීමට, ගෙවැදීමට වාසනාවන්ත දූ-පුතුන් පිළිසිඳ ගැනීමට, කුඩා දරුවන්ට ඉඳුල් කටගෑමට, හිසකෙස් කැපීමට යහපත්ය. කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, මුවසිරස, සිත, දෙනට, අද, සා, සියාවස, නැකැත්වලින් උපන් අයට පමණි.
මැයි මස 19දා සඳුදා
රාත්‍රි 07.27 දක්වා “සුවණ” නැකැත පවතී. සඳුදා දිනවල සුවණ නැකැත නම් එය ලක්ෂයක් දෝෂ භංග කරන “කේවල සිද්ධි යෝගය” වන්නේය. එමෙන්ම ධග්ධ, මර, කාණ දෝෂ ඇතොත් භංග කරන ආනන්දාදී අටවිසි මහ යෝග චක්‍රය අනුවද “සිද්ධි” නම් බලවත් යෝගයයි. වෙසක් මස අවසතවක තිථිය අලුයම 6.13ට පසුව ලබයි. නිවාස ඉදිකිරීමට, උළුවහු තැබීමට, ගෙවැදීමට, කුඩා දරුවන්ගේ හිසකෙස් කැපීමට, ඉඳුල් කටගෑමට, කන් විදීමට, ගිවිසුම් අස්සන් කිරීමට මෙදින ශුභයි. කැති, උත්‍රපල්, උත්‍රසල, අස්විද, මා, මුල, පුෂ, අනුර, උත්‍රපුටුප, අද, සා, සියාවස, මුවසිරස, සිත, දෙනට නැකැත්වලින් උපන් අයට මෙදින ශුභ වේ.
