බිහිසුණු අනතුරු රැසක් - සිව්දෙනෙක් ජීවිතක්ෂයට
ගෙවුණු පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඊයේ (04) දින මෙම අනතුරු සිදුව තිබුණේ වැල්ලම්පිටිය, කටුවන, වෙරළබඩ සහ තංගල්ල පොලිස් වසම්වලදී බවට වාර්තා වුණා.
ඉන් එක් අනතුරක් තොටළඟ අඹතලේ මාර්ගයේ කිත්තම්පහුව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී සිදුව ඇත.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
අනතුරින් එසේ මියගොස් ඇත්තේ, කිත්තම්පහුව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව 22 හැවිරිදි තරුණයෙක්.
එමෙන්ම වලස්මුල්ල - මිද්දෙණිය මාර්ගයේ තිරුවානාබොරැල්ල ප්‍රදේශයේ වංගුව අසලදී මඟී ප්‍රවාහන බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු වලස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව අනතුරින් මියගිය තරුණයා වයස අවුරුදු 24ක් වූ හිඳකරල්දෙණිය, කටුවන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තවද වෙරළබඩ පොලිස් වසමේ කොළඹ වරාය පරිශ්‍රයේ වයි හන්දිය අසලදී කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් ඉදිරියෙන් ගමන් කල යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව වාර්තා වුණා.
ඒ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.
මේ අතර කොළඹ - වැල්ලවාය මාර්ගයේ මොරකැටිආර ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මාර්ගය ඔස්සේ ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු කොස්වත්ත, සීනිමෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක් බව පවසයි.