පසුගිය අවුරුදු 03ට පමණක් දරුණු ගණයේ අපරාධකරුවන් 30දෙනෙකු ලංකාවට
පසුගිය වසර තුනක කාලය තුළ විදේශ රටවල සැඟව සිටි දරුණු ගණයේ අපරාධකරුවන් 30 දෙනෙකු මෙරටට රැගෙන ඒමට පොලීසිය සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
ඒ යටතේ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ 'මිදිගම චූටි' නැමැති සැකකරු අද දිනයේ දිවයිනට රැගෙන ආ බවත්, ඔහු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
ජාත්‍යන්තර සබඳතා මත රතු නිවේදන නොමැතිව ද සැකකරුවන් 13 දෙනෙකු ගෙන්වාගෙන ඇති අතර තවත් අපරාධකරුවන් 88 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර තිබේ.
මීට අමතරව පාස්කු දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, අනීතික ලෙස ඉන්ධන රැස්කළ සැකකරුවන් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.