පාරේ චණ්ඩිකම් දැමූ රියදුරන්ට වැඩේ වරදී- ටිපර් සහ යතුරුපැදි රැසක් පොලිස් භාරයට
මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ අනතුරුදායක ලෙස ධාවනයේ යෙදුණු යතුරුපැදි 30ක් සහ ටිපර් රථ 20ක් පොලිස් භාරයට ගැනීමට කිලිනොච්චිය පොලිසිය කටයුතු කර තිබේ.
මෙම රථවාහන අත්අඩංගුවට ගෙන ඇත්තේ කිලිනොච්චිය පොලිසියේ රථවාහන අංශය විසින් ඊයේ (27) සහ අද (28) ක්රියාත්මක කළ විශේෂ රථවාහන මෙහෙයුමකදීය.
විමර්ශනවලට අනුව, නිසි ලේඛන නොමැතිව ධාවනය කිරීම, රියදුරු බලපත්ර කල් ඉකුත් වී තිබීම, අංක තහඩු නොමැතිවීම සහ අනතුරුදායක ලෙස රථ ධාවනය කිරීම ඇතුළු මාර්ග නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් මෙම යතුරුපැදි සහ ටිපර් රථ පොලිස් භාරයට ගෙන ඇත.
මහජනතාවට හිරිහැර වන අයුරින් සහ මාර්ග නීතිරීති උල්ලංඝනය කරමින් රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව ඉදිරි දිනවලදීත් මෙවැනි විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් භාරයට ගත් රථවාහන සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙමින් පවතී.