නොවැම්බර් 30 වැඩවර්ජනයෙන් ඉවත් වුණා ද? විධායක නිලධාරීන්ගේ කමිටුවෙන් දැඩි ප්‍රතිචාරයක්
නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත වැඩවර්ජනයෙන් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 20ක් ඉවත් වී ඇති බවට සමාජ මාධ්‍ය සහ ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම කමිටුව පවසනවා.
අද (29) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කමිටුව සඳහන් කළේ, නොවැම්බර් 30 වැනිදා වැඩවර්ජනයක් පැවැත්වීමට තම සංවිධානය කිසිදු තීරණයක් ගෙන නොතිබූ බවයි. එබැවින් එවැනි වැඩවර්ජනයකින් ඉවත් වීමක් සිදු නොවන බවද එහි සඳහන්.
රජයේ විධායක සේවාවන් 20ක් නියෝජනය කරන තම සංවිධානය සහ අනෙකුත් වෘත්තීය සමිති අතර ගැටුම් ඇති කිරීමේ අරමුණින් කිසියම් පාර්ශ්වයක් තම මාධ්‍ය ප්‍රකාශ විකෘති කර මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති බවටද කමිටුව චෝදනා කරනවා.
මෙවර අයවැයෙන් රජයේ විධායක නිලධාරීන්ට ඇතිවී තිබෙන වැටුප් හා දීමනා විෂමතාවලට විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බර් 20 වැනිදා තම සංවිධානය සාර්ථක එක්දින වැඩවර්ජනයක් පැවැත්වූ බවද එම නිවේදනයේ සඳහන්.
ඉන් අනතුරුව අමාත්‍යවරුන් වන ආනන්ද විජේපාල සහ අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සති දෙකක් ඇතුළත ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට එකඟතාව පළවූ බවද කමිටුව පවසනවා.
එම සාකච්ඡාව පැවැත්වීමෙන් පසු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව විධායක කමිටුව රැස්වී තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන්.
මේ අතර, නොවැම්බර් 30 වැනිදා විධායක නොවන සේවාවන්වලට අයත් වෘත්තීය සමිති රැසක් විසින් පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට බාධා කිරීමට තම සංවිධානයට කිසිදු අදහසක් නොමැති බවද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරනවා.
එමෙන්ම, ඕනෑම වෘත්තීය සමිතියකට වැඩවර්ජනයක නිරත වීමට ඇති අයිතියට තම සංවිධානය සැමවිටම ගරු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.