හෙට ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි ඔසවයිද? - ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංකේතාත්මක විරෝධයක්
ඛනිජ තෙල් බෙදුම්කරුවන් මුහුණ දී සිටින ආර්ථික ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරවීම සඳහා හෙට (30) දිනයේදී සංකේතාත්මක විරෝධතාවක නිරත වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක කෝසල විදානආරච්චි මහතා සඳහන් කළේ, සංගමයේ විධායක සභාව අද (29) රැස්වී පවතින ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
එහිදී බෙදුම්කරුවන්ට හිමි වට්ටම් මුදලින් විශාල ප්‍රමාණයක් අහිමි වන තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, එම වට්ටම් මුදල සියයට 50කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වය හමුවේ අඛණ්ඩව ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට නොහැකි මට්ටමකට බෙදුම්කරුවන් පත්ව ඇති බව ද විදානආරච්චි මහතා සඳහන් කළේය.
එමෙන්ම, දිවයින පුරා ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතු මේ වන විට අකාර්යක්ෂම තත්ත්වයක පවතින බවත්, ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හෙට දිනයේ රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දක්වන ආකාරය පිළිබඳව ද සංගමයේ විධායක සභාව සාකච්ඡා කර තිබේ.
ඒ අනුව, හෙට දිනයේදී සියලුම ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට කළු කොඩි ප්‍රදර්ශනය කරමින් සහ බෙදුම්කරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ බැනර් ප්‍රදර්ශනය කරමින් පමණක් සංකේතාත්මක විරෝධතාවක නිරත වීමට තීරණය කර ඇති බව ඔහු පැවසීය.
කෙසේ වෙතත්, හෙට දිනයේදී ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමක් සිදු නොකරන බව ද කෝසල විදානආරච්චි මහතා අවධාරණය කළේය. පිරවුම්හල් සඳහා ඉන්ධන ඇණවුම් කිරීම සාමාන්‍ය පරිදි සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.
ඛනිජ තෙල් අමාත්‍යවරයා සමඟ ලබන දෙසැම්බර් 3 වැනිදා සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදී ඇති බැවින්, එහිදී ගනු ලබන තීරණ අනුව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.