2026 FIFA ලෝක කුසලාන නිල පාපන්දුව 'Trionda' එළිදකී
By Mithu
2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල පාපන්දුව මේ වනවිට එළිදක්වා තිබෙනවා. අමෙරිකාව,මෙක්සිකෝව සහ කැනඩාව මෙවර පාපන්දු ලෝක කුසලානයට සම සත්කාරකත්වය ලබා දෙන අතර, එහිදී එම රටවල් තුනේ ජාතික ධජයන්හි ඇතුළත් රතු, නිල් සහ කොළ වර්ණ භාවිතා කරමින් මෙම පාපන්දුව නිර්මාණය කර තිබීමත් කැපී පෙනෙනවා.
සුපිරි හිටපු ප්‍රංශ පාපන්දු ක්‍රීඩක සිනෙඩීන් සිඩෑන්ගේ සහභාගිත්වයෙන් එළිදැක්වූ ලෝක කුසලානයේ බෝලයට නම් තබා ඇත්තේ (Trionda) ''ට්‍රයෝන්ඩා''ලෙසටයි.
ස්පාඤ්ඤ භාෂාවෙන් "තරංග තුනක්" යන අරුත් දෙන මෙම බෝලයෙන් තරගයේ විනිසුරුවරුන්ට ගෝල් ලයින් තාක්ෂණය සහ වීඩියෝ විනිසුරු තීරණ ගැනීම සඳහා තත්පරයකට 500Hz සංඥා නිකුත් කිරීමත් සුවිශේෂී වේ.
මේ අතර 2026 පාපන්දු ලෝක කුසලානයේ නිල සුරතලා ද මේවන විට එළිදක්වා තිබෙන අතර, එහිදී රටවල් තුන සඳහා සුරතල් සතුන් තෙදෙනෙකු නම් කර තිබේ.