වසරේ මුල් කාර්තුවේ දැඩි පොල් හිගයක් පිළිබද පුරෝකථනයක්..රජයේ විසදුම මෙන්න..
මේ වසරේ පළමු මාස හතරේ පොල් ඵලදාව ගෙඩි මිලියන 200 කින් පමණ අඩුවන බවට පොල් පර්යේෂනායතනය පුරෝකථනය කර තිබෙන බවත්, එම පොල් ප්‍රමාණය කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කර තිබෙන බවත්, ඊට රජයේ පාර්ශ්වයෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පැවැසීය.
පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත අංශය සඳහා අවශ්‍ය පොල් තොග කඩිනමින් ආනයනය කිරීමට කටයුතු නොකළහොත් ඩොලර් බිලියනයක පමණ ආදායමක් රටට අහිමි වනු ඇති බවත්, පොල් ගෙඩි මිලියන 200 කට වැඩි පොල් ප්‍රමාණයක් වූවද ආනයනය කිරීමෙන් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතින බවත් ඔහු පැවැසුවේය.
ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
පොල් නිෂ්පාදන අපනයන කර්මාන්තය අඛණ්ඩව පොල් හිඟයකින් තොරව පවත්වාගෙන යාම සඳහා පොල් කිරි, පොල් මද, ශීත කළ පොල් මද හෝ ලෙලි ගසන ලද පොල් ආනයනය කඩිනමින් සිදුකළ යුතු බවද ඔහු කියා සිටියේය.
මෙරට මාසික පොල් අවශ්‍යතාවය පොල් ගෙඩි මිලියන 250 ක් බවත්, ඉන් ගෙඩි මිලියන 150 ගෘහස්ථ පාරිභෝජනය සඳහා ද, ගෙඩි මිලියන 100 ක් කර්මාන්ත අංශයට යොදා ගන්නා බව ද සභාපතිවරයා පැවැසීය.
මෙරට වාර්ෂික දළ පොල් ගෙඩි නිෂ්පාදනය ගෙඩි මිලියන 3,000 ක් වූවත්, ඉකුත් වසරේදී (2024) එය පොල් ගෙඩි මිලියන 2,680 ක් දක්වා අඩුවී තිබෙන බවත්, මේ වසරේදී (2025) මෙරට පොල් නිෂ්පාදනය ගෙඩි මිලියන 2400 ත් 2600 ත් අතර ප්‍රමාණයක් දක්වා අඩුවන බවට පොල් පර්යේෂණායතනය පුරෝකථනය කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළදී පොල් ගෙඩි මිලියන 200 ක නිෂ්පාදන අඩුවක් සිදුවන බවට පොල් පර්යේෂණායතනය පුරෝකථනය කර ඇතැයි ද ඔහු කීවේය.
ඒ අනුව, ජනවාරි සහ පෙබරවාරි මාසවලදී පොල් ගෙඩි මිලියන 150 කද, මාර්තු සහ අප්‍රේල් මාසවලදී පොල් ගෙඩි මිලියන 50 ක්ද නිෂ්පාදන අඩුවක් සිදුවන බවද ඔහු පැවැසීය.
පොල් පොහොර කිලෝ 50 ක ඇසුරුමක් රුපියල් 12,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බැවින් පොල් වගාවට පොල් පොහොර දැමීම සිදු කරන්නේ වගාකරුවන් සියයට 10 කට අඩු සංඛ්‍යාවක් බවද ඔහු පැවැසුවේය.
ආර්ථික ගැටලු ආදී විවිධ කාරණා මත ඉකුත් 2019 වසරේ සිට පොල් වගාවට පොල් පොහොර දැමීම අඩුවී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
පොල් පොහොර බෑගයක් අවම වශයෙන් රුපියල් 4,000 කටවත් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
දඬු ලේනා, රිලවා, සුදු මැස්සා ආදී සතුන්ගේ හානි නිසා ද පොල් නිෂ්පාදනය අඩුවී තිබෙන බව ද ඔහු කියා සිටියේය.
මෙරට පොල් ගසකින් වසරකට ලැබෙන ඵලදාව පොල් ගෙඩි 56 ක් බවත්, එය ගෙඩි 80 ක් දක්වාවත් වර්ධනය කිරීමේ සැලසුමක් ඉදිරි දෙවසර තුළදී ක්‍රියාත්මක කිරීමට පොල් කර්මාන්ත මණ්ඩලය විසින් මාර්ග සිතියමක් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ලබාදී ඇතැයි ද සභාපතිවරයා පැවැසීය.
You may like this video