13 වසරට 111 වතාවක් මාරු වූ මැති ඇමති පුටු.

Sri Lanka Politician Government Of Sri Lanka
By Wayomi May 09, 2024 12:27 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය 2010 සිට 2023 වසර දක්වා කාලය තුළ වාර 111 ක් වෙනස් වී ඇති බව වෙරිටේ රිසර්ච් විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල් සඳහන් කළා.

ඒ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අද (09) පැවැති මාධ්‍ය හමුවකදීයි.

එහිදී ඔහු කියා සිටියේ,වාර 111 ක් යනු ආසන්න වශයෙන් මාසයකට එක් වතාවක් ගැසට් පත්‍රයක් මගින් අමාත්‍ය මණ්ඩල සංයුතිය ශ්‍රී ලංකාව වෙනස් කර ඇති බවත් එලෙස මසකට වරක් ආමාත්‍යංශ සංයුතිය වෙනස් වනවිට ආයතනයකට ඵලදායි ලෙස වැඩ කළ නොහැකි බවයි.

උදාහරණයක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දස වතාවක් 2010 සිට 2023 වසර දක්වා කාලය තුළදී අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට මාරු කර ඇති බවත් 2020 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කරනවා.

එමෙන්ම මෙරට අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තිබෙන බවත් එය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙන බවත් ඔහු පේනවා දෙනවා.

එක් කොටසක් නම් අමාත්‍යංශ වලට ගැලපෙන විෂයන් වෙන් නොකිරීම බවත්, වරක් කෘෂිකර්මයට අදාළ වැඩ කොටස් අමාත්‍යංශ නවයකට බෙදා තිබූ බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් මහතා පැවැසුවේය.අනෙක් කොටස නම් අමාත්‍යංශවලට නොගැලපෙන වැඩ කොටස් එක් කිරීම බවත් වරක් සංචාරක, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු එකතු කර තිබූ බවත් ආචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ සංයුතියේ තාර්කික බවක් තිබිය යුතු බවත්, එය ඇති කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය කළ අධ්‍යනයක් මගින් අමාත්‍ය මණ්ඩල 15 ක ආකෘතියක් නිර්මාණය කර ඇති බවත් ආචාර්ය නිශාන්ත ද මෙල් පවසනවා.

මේ අතර එම ආකෘතිය ඉදිරියේදී සියලු දේශපාලන පක්ෂවලට ලබා දීමටද බලාපොරොත්තු වන බව ඔහු මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා. 


Gallery