ලුණු කන්ටේනර් 1000ක් රේගුවේ රැඳී - පාරිභෝගිකයන්ට හිඟයක්ද?
ශ්‍රී ලංකා රේගුවේ ලුණු කන්ටේනර් 1000ක් පමණ සිරවී ඇති බව ලුණු ආනයනකරුවෝ පවසති.
මෙම බහාලුම්වලින් 400ක් රජය විසින් ලුණු ආනයනය සඳහා නියමිත අවසන් දිනය වූ ජූනි 10 වැනිදාට පසුව මෙරටට පැමිණි ඒවා වන අතර, ඉතිරි 600කට ආසන්න බහාලුම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) අනුමැතිය ලබාගැනීමේ ප්‍රමාදයන් හේතුවෙන් රඳවා තබා ඇත.
ලුණු ආනයනකරුවන්ට අනුව, ජූනි 10 වැනිදායින් පසුව මෙරටට ලැබුණු කන්ටේනර් 400 සඳහා රජය විසින් කිසිදු සහනයක් ලබාදී නොමැති බැවින්, එම ලුණු තොග නැවත ප්‍රතිඅපනයනය කිරීමට සිදුවනු ඇත. වෙළෙඳපොළේ දැනට ප්‍රමාණවත් ලුණු තොග ඇති බැවින්, මෙම අවස්ථාවේ සහනයක් බලාපොරොත්තු නොවන බවත්, එම ලුණු තොග නැවත ප්‍රතිඅපනයනයට තමන් විරුද්ධ නොවන බවත් ආනයනකරුවෝ පවසති.
ප්‍රමාදවී පැමිණි ලුණු කන්ටේනර් 400 සම්බන්ධයෙන්, ආනයනකරුවෝ හෝ අපනයනකරුවෝ වැරදිකරුවන් නොවන බවත්, එම බහාලුම් ප්‍රමාද වීමට හේතුව එවකට පැවති අහිතකර දේශගුණික තත්ත්වයන් බවත් ඔවුහු පෙන්වා දෙති. ආරංචි මාර්ගවලට අනුව, මෙම කන්ටේනර් 400 ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වරායකින් නියමිත දිනට නැව්ගත කළද, අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නැව් මෙරටට පැමිණෙන විට ජූනි 10 වැනිදා ඉක්මවා ගොස් තිබේ. රජය විසින් මෙම ලුණු තොග සඳහා අවසර ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර, එම ලුණු මෙට්‍රික් ටොන් 10,000ක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියනයකට ආසන්න බවත් වාර්තා වේ.
අනෙක් අතට, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලබාගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ලුණු කන්ටේනර් 600කට ආසන්න ප්‍රමාණයක් මාසයකට ආසන්න කාලයක සිට රේගුවේ සිරවී ඇති බව ආනයනකරුවෝ පවසති. මෙම ප්‍රමාදයට හේතුව තමන්ට නොදන්නා බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ඔවුහු සඳහන් කළහ.
පුවත්පතක විමසීමකදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශකයකු පැවසුවේ, ආනයනකරුවන් 45 දෙනකු විසින් ගෙනවිත් ඇති ලුණු තොග, නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම හේතුවෙන් වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි. එම ලුණු තොග රේගුව මගින් නැවත ප්‍රතිඅපනයනය කරනු ඇති බවත්, එම තොගයට කන්ටේනර් කීයක් ඇතුළත්ද යන්න නිශ්චිතව ප්‍රකාශ කිරීම අපහසු බවත් ඔහු පැවසීය. ඇතැම් ආනයනකරුවන් විශාල වශයෙන් ප්‍රමිතියෙන් තොර ලුණු තොග ගෙන්වා ඇති බවත් එය මෙම ප්‍රතික්ෂේපයට හේතුව බවත් ඔහු අවධාරණය කළේය.
පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය කාලගුණික තත්ත්වයන් හේතුවෙන් පහත වැටුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ ලුණු හිඟයක් ඇතිවිය. එම හිඟය පිරිමැසීම සඳහා රජය විසින් ලුණු ආනයනයට පැවති සීමා ඉවත් කර, මෙට්‍රික් ටොන් 150,000ක ලුණු ආනයනයට අවසර ලබාදුන්නේය. එහිදී ලුණු ආනයනය සඳහා නියමිත අවසන් දිනය ජූනි 10 වැනිදා විය.

ෂෝෂල් මීඩියා ආතල් අරන් දවල් හීන දකින්න.. හරිනි කියන්නේ අපට ඉතාම වටිනා සම්පතක් - ඇමති බිමල් කියපු ටික..
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ, ලුණු තොගවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී ඇතැම් තොගවල සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමට සිදුවූ බවත්, එවැනි අවස්ථාවල ආනයනකරුවන් සාම්පල නැවත බාරදීමේදී ප්‍රමාදයන් සිදුවූ බවත්ය. එසේම, අවශ්‍ය ලිපිගොනු බාරදීමේදී ද ප්‍රමාදයන් ඇතිවූ බව ඔහු සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුවෙන්, රේගුවේ සිරවී ඇති ලුණු කන්ටේනර්වල ඉදිරි ඉරණම පිළිබඳ තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බවත්, ආනයනකරුවන්ට සහන ලබාදීමේ හැකියාවක් ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
- ලංකාදීප