අස්වැසුම ලක්ෂ 14ක සහනාධාර කැපුවා කියන කතාව බොරුවක් - අමාත්ය උපාලි පන්නිලගෙන් හදිසි විශේෂ හෙළිදරව්වක්
අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාර අත්හිටුවා ඇති බවට ඇතැම් මාධ්ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්යාලයේ ශ්රවණාගාරයේදී පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්රියාත්මක කරනු ලබන “ප්රජා සවියට නව බලයක්” ජාතික වැඩසටහන පිළිබඳව සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
අනුරාධපුර, පොළොන්නරුව, ත්රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්රික්කවල සමෘද්ධි නිලධාරීන් සහභාගි වූ මෙම වැඩසටහනේදී අමාත්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මේ වන විට අස්වැසුම ප්රතිලාභය ලබන පිරිස 1,206,000ක් පමණක් වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්රතිලාභ අත්හිටුවා ඇති බවට පළවන වාර්තා ප්රායෝගිකව පවා පිළිගත නොහැකි බවයි.
අස්වැසුම ප්රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදුකරන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තෝරාගත් ප්රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්රකාශයට පත් කර තිබේ. එම අදියර යටතේ දැනට ප්රතිලාභ ලබන සංඛ්යාව 989,000ක් පමණ වන අතර, නව සමාලෝචනයට අනුව ප්රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්යවරයා සඳහන් කළේය.
දෙවන අදියර යටතේ ප්රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචන කටයුතු ලබන වසරේදී සිදුකිරීමට නියමිතය. එම සමාලෝචනය අවසන් වන තෙක් දැනට ප්රතිලාභ ලබන පිරිසෙහි කිසිදු වෙනසක් සිදු නොකර සහනාධාර අඛණ්ඩව ලබාදීමට රජය කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, පළමු අදියර යටතේ තවත් ප්රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවත්, මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්රතිලාභීන්ගේ සංඛ්යාව අඩුවීමක් නොව වැඩිවීමක් සිදුවීමට ඉඩ ඇති බවත් අමාත්යවරයා වැඩිදුරටත් පැවසීය.
එබැවින්, අස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන අසත්ය හා ජනතාව නොමඟ යවන සුළු වාර්තාවලට නොරැවටෙන ලෙස අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.