විශ්ව විද්‍යාලයට යද්දි ලොකු බයක් දැනුනා එයාලා මාව මොන විදිහකට පිළිගනීද කියලා…

Sinhala news
By Akash May 13, 2025 11:30 PM GMT
Akash

Akash

Report

මම විශ්වවිද්‍යාලයට යද්දී ලොකු බයක් දැණුනා එයාලා මාව මොන විදියට පිළිගනියිද කියලා …” – දඹානෙන් පළමු වරට සරසවි වරම් ලද කැකුළියගේ සංවේදී කතාව – දුවට උගන්වන්න අවුරුදු 22ක් කඩයප්පන් තැම්බුවා……

ආවොත් ලස්සන කරලා යවන "ලස්සන දන්සැල" (PHOTO)

ආවොත් ලස්සන කරලා යවන "ලස්සන දන්සැල" (PHOTO)

දුව විශ්වවිද්‍යාලයට තේරී පත්වුණ වෙලාවේ සතුටක් වගේම දුකක් දැනුණා…… අපේ රැහෙන් ඉස්සෙල්ලාම විශ්වවිද්‍යාලයට ගියේ දඹානේ ගුණවර්ධන කැකුළා.

ඊට පස්සේ කීපදෙනෙක් උපාධි ලබාගත්තා පිට තැන්වලින්. ආදිවාසී පරපුරේ කියලා කාන්තාවක් ඉස්සෙල්ලම විශ්වවිද්‍යාලයකට ගියේ මගේ මිනිබිරියක් වන ගුරුකුඹුර ගමේ සමන්තිකා කියන කැකුළියයි.

මට හරි සතුටක් තියෙන්නේ. කාලයක් අපේ පරපුරේ දරුවන්ට ඒ අවස්ථාව තිබුණේ නෑ. ආදිවාසීන් කිව්වාම අපේ පරපුරේ අය දිහා සමාජය පහත් කරලා තමයි සලකන්නේ. මේ වන විට විශ්වවිද්‍යාලවලට යන ආදිවාසීන් පමණක් නොවෙයි රජයේ රැකියා කරන, ගුරු වෘත්තියේ නියැළෙන ආදිවාසීන්ද ඉන්නවා කියලා මම සතුටින් කියන්න කැමැතියි“ ආදිවාසී පරපුරේ දැරියක් ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයට තේරී පත්ව, ඇය මේ වන විට සරසවියේ සිය දෙවැනි වසර සාර්ථකව අධ්‍යාපනය හැදෑරීමේ සතුට පළ කරමින් හා එය ප්‍රථම වතාවට මාධ්‍යයට අනාවරණය කරමින් ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.

පොලිස් විමර්ශනයකදී හෙළිවුණුු දේ

පොලිස් විමර්ශනයකදී හෙළිවුණුු දේ

මෙලෙස විශ්වවිද්‍යාලයට තේරී පත්ව ඇත්තේ වන්නිලා ඇත්තන්ගේ ඥාති මිනිබිරියක් වන ගුරුකුඹුර ගමේ ඩී.එම්. සමන්තිකා දිසානායක දැරියයි. ඇය මේ වන විට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මුද්‍රණ කලා අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වන්නීය.

ඇය එක් සහෝදරියකගේ සහ සහෝදරයන් හතර දෙනකුගෙන් යුක්ත පවුලක හතර වැන්නීය. ඇයගේ කුඩාම නැඟණිය කුඩා කාලයේදී සර්පයකු දෂ්ට කිරීම හේතුවෙන් ඇති වූ සංකූලතා නිසා ඇවිදීමට අපහසු ආබාධිත තත්ත්වයෙන් පසුවන්නීය. ඔවුන්ගේ පියා හේන් ගොවිතැනින් දරුපවුල ජීවත් කරවන්නෙකි. සමන්තිකා ආ ගමන් මඟ පිළිබඳ ආදිවාසී නායකතුමන් මහත් ආඩම්බරයෙන් හා සතුටින් මෙසේද ප්‍රකාශ කර සිටියේය. “සමාජය හිතන්නේ අපේ ආදිවාසී දරුවෝ පාසල් ගිහින් අධ්‍යාපනය ලබන එකෙන් අපේ පරම්පරාව ඉවරයි කියලා. මම විශ්වාස කරන්නේ පරම්පරාව විනාශ වෙන්නේ ඉගෙනීමෙන් නෙවෙයි. ඒ අයගේ චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් අනුගමනය කරන ක්‍රමය අනුව කියලයි. ඒවට ගරු කරනවා නම්, ආරක්ෂා කරනවා නම් අධ්‍යාපනය ලැබීමෙන් අපේ වරිගයේ, පරම්පරාව විනාශ වෙන්නේ නෑ කියලයි මම විශ්වාස කරන්නේ.

මම වටහාගත්ත විදියට මේ වන විට අපේ වරියේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් තමයි අධ්‍යාපනය ලබලා ඉහළටම යන කණ්ඩායම. දෙවැනි කණ්ඩායම තමයි කැලයට හුරුවෙලා ඒ සංස්කෘතියටම අනුගත වෙච්ච කොටස. මම රැහේ නායකයා විදියට මේ කණ්ඩායම් දෙක ගැනම අවධානය යොමු කරන්න ඕන. ඒ අය වෙනුවෙන් මට හැකි සෑම අයුරින්ම මම මගේ මුදල් වියදම් කරලා තියෙනවා.

ඒ වගේම රජයෙන් අවශ්‍ය උදවු උපකාර අරන් දෙන්න සෑම විටම කටයුතු කරලා තියෙනවා. අපේ පරම්පරාවේ ඉදිරිය රඳාපැවැත්මට ආණ්ඩුව කටයුතු කරන ආකාරයත් වැදගත් වෙනවා. අපේ පරම්පරාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලයට තේරීපත්වෙලා මේ වන කොට අධ්‍යාපනය හදාරන සමන්තිකා දැරිය පාසල් කාලයේ ඉඳලාම අධ්‍යාපනයට, ක්‍රීඩාවට දක්ෂකම් පෑ දැරියක්. දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ආරම්භයේ ඉඳලා ඉතිහාසයේ හොඳම සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය ගත්තෙත් ඒ දැරිය.

මට විශාල සතුටක් තියෙනවා. ඒ වගේම මම ආශීර්වාද කරනවා. ඒ වගේම මුල අමතක නොකර දඹානෙන් සිදාදියට ගිය සමන්තිකාට නැවත දඹානට එන්න කියන ගමන් ඇගේ අනාගතයට මම ආශීර්වාද කරනවා” යැයි විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ඇයගේ ජයග්‍රහණ අගේ කරමින් හා සුබ පතමින් ප්‍රකාශ කර සිටියේය.

“මගේ දුව විශාල දුකක් කරදරයක් විඳලා තමයි විශ්වවිද්‍යාලයට ගියේ. ඒ වෙනුවෙන් මම අවුරුදු 22ක් කඩවල් දෙකකට කඩයප්පන් තැම්බුවා. පොළේ ගිහින් කොස් කපලා වෙළඳාම් කළා. හේනේ පිටියේ නොවිඳිනා දුක් වින්දා. මගේ දරුවන් 05 දෙනාගෙන් ඉහළම අධ්‍යාපනයකට පිවිසෙන්න සමන්තිකා දුවට පුළුවන් වුණා” යැයි ඇස්වල කඳුළු පුරවගෙන සමන්තිකාගේ මව වන ඌරුවරිගේයේ කමලාවතී පවසන්නීය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවැසීය. “මගේ දුව විශ්වවිද්‍යාලයට තේරී පත්වුණ වෙලාවේ සතුටක් වගේම දුකක් මට දැනුණා. මට බයක් දැනුණා. මගේ දුව කොහොමද විශ්වවිද්‍යාලයට යන්නේ කියලා. දුව විශ්වවිද්‍යාලයට යවන්න තරම් ආර්ථිකයක් අපිට තිබුණේ නෑ. ඒ හින්ද ඒ ගැන මම දුවලා ගිහින් අපේ නායකතුමාට කිව්වා. නායකතුමා ගොඩක් සතුටු වුණා. බයවෙන්න එපා මම උදවු කරන්නම් කියලා දුවට ගන්න ඕන බඩුමුට්ටු ටික ගන්න මුදල් මගේ අතටම දුන්නා. ඒ වගේම විශ්වවිද්‍යාලයට දුව ගිහින් දාන්න වාහනයට ගෙවන්න සල්ලිත් මට නායකතුමා දුන්නා. දුව විශ්වවිද්‍යාලයට ගිහින් දෙවැනි අවුරුද්දේ ලැප්ටොප් එකක් ඕන කිව්වාම අපි ගොඩක් අසරණ වුණා. ලැප්ටොප් එකක් අරන් දෙන්න තරම් වත්කමක් අපිගාව තිබුණේ නෑ. අන්තිමට වාරික වශයෙන් ගෙවන්න ලැප්ටොප් එකක් අරන්දුන්නා. ඒකට මාසෙකට රුපියල් 8000ක් ගෙවන්න ඕන වාරික වශයෙන්. මම මහියංගණ පොළේ පොළොස් කපනවා. ලොරිවලින් පොලොස් අරගෙන කපලා විකුණලා තමයි අපි ජීවත් වෙන්නේ. තව අවුරුදු දෙකක් දුවට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තියෙනවා.

ඒ අවුරුදු දෙකෙත් පොළේ ගිහින් වෙළඳාම් කරලා, ගොවිතැන් කරලා කොහොම හරි දුවට උගන්වනවා කියලා තියෙන අධිෂ්ඨානයෙන් යුතුව අපි ජීවත් වෙනවා. විශේෂ ආදායම් මාර්ග ගෙදර නෑ. ගොවිතැන් කරන කාලෙට විතරයි මුදල් ටිකක් ලැබෙන්නේ. මහත්තයා හේන් වගාවත්, ගොඩ ගොවිතැනත් කරනවා. ඒවගෙන් ගන්න ආදායමත් එක්ක තමයි අපි මේ හැම දේම කරන්නේ.

ගොවිතැන් කියලා දැන් විශාල ආදායම් නෑ. වියදම් වැඩියි. පවුලේ ලොකු දුවලා දෙන්නා දැන් විවාහ වෙලා වෙන් වෙලා ඉන්නේ. බෑනලා දෙන්නත් මුදලින් උපකාර කරනවා. සමන්තිකාගේ අධ්‍යාපන කටයුතු ගැන එයාලත් උනන්දුවෙන් හොයලා බලන එක අපිට ලොකු ශක්තියක්. මහපොළ ශිෂ්‍යාධාරත් ලැබීම මේ ගමනට ලොකු හයියක් අපිට” අපේ කතා නායිකාව, සමන්තිකා හඬ අවදි කරමින් “මම විශ්වවිද්‍යාලයට යන කොට ලොකු චකිතයක් දැනුණේ. එයාල මාව මොන විදියට පිළිගනියිද කියලා හිතුණා. ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ එයාලා මාව සතුටින් පිළිගත්තා.

කිසිම තැනක කිසිම විදියකට මාව කොන් කළේ නෑ. දඹානේ කියලා. අපේ අම්මලා ගොඩක් දුක් විඳලා තමයි මට මේ තත්ත්වයට එන්න මඟපෑදුවේ. මම මුලින්ම පාසල් ගියේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ. සාමාන්‍ය පෙළ විභාගයේදී මම පාසල් ඉතිහාසයේ හොඳම හා වැඩිම ප්‍රතිඵල ගනිමින් ඉහළින් සමත් වුණා. නවයයි අටක් ලබාගනිමින් මගේ දක්ෂතාවය පෙන්නුවා. ඒ – තුනයි බී – එකයි, සී – හතරයි, එස් – එකයි. ඉංගී්‍රසිත් කොහොම හරි සමත් වුණා.

අපිට අමාරුම විෂය තමයි ඉංග්‍රීසි. එතැනින් ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මම මහියංගණ ජාතික පාසලට ගියා. එහිදී මම කලා අංශයෙන් චිත්‍ර, සිංහල, භූගෝල විද්‍යාව යන විෂයන් හදාරමින් අධ්‍යාපන කටයුතු සිදුකළා. ඒ විෂයන් තුනට ඒ, බී, සී, සාමාර්ථ, ලබාගනිමින් සමත් වුණා. මම චිත්‍ර විෂයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අයැදුම් කළා. ප්‍රථම අවස්ථාවෙන්ම මට විශ්වවිද්‍යාලයට පිවිසෙන්න වාසනාව ලැබුණේ ඒ විදියට තමයි.

මම දැන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ මුද්‍රණ කලා අධ්‍යයන අංශයෙන් දෙවැනි වසරේ අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. විශ්වවිද්‍යාල කටයුතු නිමා කරලා ගමටත් සේවයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මගේ මවුපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් හා ආදිවාසී නායකතුමන් ගැන මට ගොඩක් ආඩම්බරයි. මේ දක්වා ආපු ගමනේදී එයාලා කරපු උදවු අද මට මේ තත්ත්වයෙන් ඉන්න ගොඩක් පිටිවහලක් වුණා. පුංචි පුංචි රැකියා කරලා තමයි මගේ මවුපියන් මුදල් හොයාගත්තේ. මගේ අධ්‍යාපන කටයුතුවලට.”

යැයි ප්‍රකාශ කර සිටියේය. ආදිවාසී පරපුරකින් ප්‍රථම වරට විශ්වවිද්‍යාලයට පිවිසි දඹානේ ගුණවර්ධන මහතාද සමන්තිකාගේ ජයග්‍රහණය පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය. ආදිවාසී කියන්නේ වර්තමාන සමාජයේ දැඩිසේ අතරමං වූ ජන කොට්ඨාසයක්. ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තිබුණ කැලෑව හා දඩයම තහනම් කළා. ඒ එක්කම ආදිවාසී ජන සමාජයට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සිද්ධ වුණේ අනිත් ජන සමාජයත් එක්ක එකතුවීම පමණයි.

ඒ එකතු වෙන්න තියෙන ප්‍රධාන මාර්ගය තමයි අධ්‍යාපනය සැලකිය යුතු විධිමත් රජයක් නම් කළ යුතුව තිබෙන්නේ ආදිවාසීන් කැලයෙන් එළියට දානවත් එක්කම ඒ අයගේ ගම්බිම්වල තිබුණ අධ්‍යාපනික ආයතන වැඩි දියුණු කිරීමයි. අද වෙනකම් ඒ සැලකිල්ල තියෙනවාද කියලා මට තේරෙන්නේ නෑ. අදටත් දඹානේ ආදිවාසී ගම්මානයේ පාසල් දෙකකට ගුරුවරු නෑ. ඒ වගේ පසුබිමක් තිබියදී කෙසේ හෝ මහන්සි වෙලා තමන්ගේ වීර්යෙන් සමන්තිකා නැඟණියට විශ්වවිද්‍යාලයට යන්න ලැබුණ එක අපේ පරපුරටත්, නායකතුමන්ටත් වගේම මටත් ආඩම්බරයක් හා මහත් වූ සතුටක්.

ආදිවාසී කාන්තාවන් කියන්නේ සමාජයෙන් මඳක් ඈත් වෙච්ච වැඩිය එළි පහළියට බහින්නේ නැති කණ්ඩායමක්. ඒ ජන කණ්ඩායමේ සමන්තිකා නැඟණියට හැකියාව ලැබුණා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ප්‍රථම ආදිවාසී කාන්තාව වෙන්න. සමන්තිකා දඹාන කෙළවරේම ගමේ ජීවත්වන කෙනෙක්. ගුරුකුඹුර කියන්නේ දවාලයෙත් අලි ඉන්න බව බෝගයක් හදා වඩා ගන්නත් බැරි කිසිම ආර්ථික රටාවක් නැති දිළිඳුකමේ පතුලෙම තියෙන ගම්මානයක් තමයි. ඒ වගේ ගමකින් කෙනෙක් විශ්වවිද්‍යාලයට ගියා කියන්නේ. සැබෑම හීනයක් සඵල වුණා වගේ සිදුවීමක්. ඒක සාමාන්‍ය දෙයක් නෙවෙයි.

විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ අනෙක් මහ සමාජයට සාමාන්‍ය දෙයක්. ඒත් ගුරුකුඹුර ගමේ කෙනෙක් විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ අසාමාන්‍ය දෙයක් සිද්ධ වුණා වගේ වැඩක්. නමුත් අද වෙනකම් මං හිතන්නේ දඹාන, ගුරුකුඹුර, පොල්ලෙබැද්ද, හෙනානිගල යන ඉස්කෝලවල ඉතුරු සම්පත් මොනවා වුණත් අවශ්‍ය විෂයන්වලට ගුරුවරු ටිකවත් නෑ. ආදිවාසීන්ට ගස් යට ඉන්නවා කියන එක. ගස් යට ඉඳන් අධ්‍යාපනය ලබනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම ගස් යට ඉඳලවත් ඉගෙන ගන්න ඒ ඒ පාසල්වල ගුරුවරු නෑ. මේ අධ්‍යාපන මධ්‍යස්ථානවලට ගුරු සම්පත ඇති කරන්න කියා ඉල්ලා සිටිනවා. “මව්බිම”

ReeCha