අභිරහස් ලෙස මියගිය පාසල් සිසුවිය නවාතැන් පොළට යන CCTV දර්ශන එළියට.. තවත් තොරතුරු රැසක් (VIDEO)

By Sithumi May 07, 2023 04:09 PM GMT
Sithumi

Sithumi

Report

අභිරහස් ලෙස මියගිය 16 හැවිරිදි පාසල් සිසුවිය තවත් තිදෙනෙකු සමග කළුතර සිරිකුරුස හන්දියේ පිහිටි තාවකාලික නවාතැන් පොළට ඇතුළුවන ආකාරය දිස්වෙන CCTV දර්ශන පෙළක් රූපවාහිණි මාධ්‍ය යූ ටියුබ් නාලිකාවක පළ කර තිබෙනවා.

අදාළ තරුණිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට ඊයේ (06) පස්වරුවේ පැමිණ ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. පිරිස එම ස්ථානයට පැමිණ තිබුණේ ඊයේ පස්වරු 6.30 ට පමණ වන අතර ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබෙනවා.

එලෙස කාමර දෙකක් වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බවයි හෝටල් සේවකයෙකු දැක ඇත්තේ. පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් තිබුණු අතර ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබෙනවා.

අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබෙනවා. ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවයි ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් වන අතර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ සිසුවියට හෝටලයට පිවිසීමට වයස බාධාවක් වන බැවින් වෙනත් අයකුගේ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඊට පිවිස ඇති බවයි.

එසේම පොලීසිය තවත් කරුණු කිහිපයක් මේ වන විට අනාවරණ කරගෙන තිබෙන අතර එක්වරම කලබලයෙන් හෝටල් කාමරයෙන් පිටව ගිය තරුණයා එතැනින් ඉවත්ව ගොස් ඇත්තේ ඊට පෙර හෝටලයෙන් පිටව ගිය තරුණයාට සහ තරුණියට ඇමතුමක් දී හදිසියක් බව පවසා ඔවුන් කැඳවාගැනීමෙන් පසුවයි.

මිය ගොස් සිටින තරුණිය තුන්වැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි ප්‍රකාශ කළ ඔහු අනතුරුව මෝටර් රථයකින් පළාගොස් ඇති බව වාර්තා වනවා.

පසුව සෙසු තරුණයා සහ තරුණිය දුම්රිය මාර්ගය මත වැටි සිටි තරුණිය දුම්රිය මාර්ගයෙන් ඉවත්කර එම ස්ථානයෙන් පිටව ගොස් රාත්‍රි 9.30ට පමණ පොලීසියට භාර වී තිබෙනවා.

  අවසාන මොහොත දක්වා මියගිය තරුණිය සමඟ රැඳී සිට පළාගොස් ඇති සැකකරු සොයා කළුතර දකුණ පොලීසියෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අයෙකු වන අතර ඔහු දෙවැනි වරට විවාහ කරගත් කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.