සම්බුදු තෙමඟුල සිහිපත් කරන වෙසක් පුර පසලොස්වක පොහොය දිනය අදයි..

Vesak Full Moon Poya Sri Lanka
By Aruna May 05, 2023 12:35 AM GMT
Aruna

Aruna

Report

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් ලොවපුරා බෞද්ධ බැතිමතුන් ඉමහත් හරසරින් සැමරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (5) යෙදී තිබෙනවා.

සිදුහත් කුමරුගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය යන තෛයිමංගල්‍යයම එකට බෞද්ධ ජනතාව විසින් මෙලෙස සමරනු ලබයි.

මෙරට ප්‍රධානතම ආගමික හා සංස්කෘතික සැමරුම ලෙස සැලකෙන වෙසක් මංගල්‍යය වසර ගණනාවකට පසු සුපුරුදු පරිදි සැමරීමට මෙරට ජනතාවට මෙවර අවස්ථාව උදා වී තිබෙනවා.

2019 වසරේ එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය සහ 2020 හා 2021 වසරවල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනතාවට සුපුරුදු පරිදි වෙසක් වත්පිළිවෙත් ඉටුකිරීමේ අවස්ථාව අහිමිව ගියා.

වෙසක් පොහොය නිමිත්තෙන් ශ්‍රී ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ බැතිමත්හු විවිධ ආගමික වැඩසටහන් සිදු කරන අතර මෙරට කොළඹ නගරය සහ ඒ අවට ප්‍රධාන නගර ආශ්‍රිතව දර්ශණීය තොරණ, පහන් කූඩු, දන්සල්, ශීල වැඩසටහන් ඇතුළුව ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් පැවැත්වීමට සූදානමින් සිටිති.

ඒ අනුව තොටළඟ, කිරිබත්ගොඩ, කැලණිය, මහරගම, කොට්ටාව, රාජගිරිය ඇතුළු ස්ථාන රැසක වෙසක් තොරණ සහ වෙසක් කලාප ඉදි කර තිබේ.

මේ අතුරින් බෞද්ධාලෝක වෙසක් කලාපය සහ ගංගාරාමය ආශ්‍රිත බුද්ධ රශ්මි වෙසක් කලාපය දින කිහිපයක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙන අතර, රාජ්‍ය වෙසක් මහෝත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා උපදෙස් දී තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මේ සඳහා දායක වෙයි.

ඒ අනුව මෙවර වෙසක් මංගල්‍යය සමරණ සියලු බැතිමතුන් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ගගන ප්‍රවෘති අංශයේ අප හදවතින්ම ප්‍රාර්ථනා කරමි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now