ඩෙල්ටා මඩින්න රජය පියවර නොගත්තොත් මිනී ගොඩ ගහන්න ඉඩ නැති වෙයි..? (VIDEO)

covid19 hemantha herath delta variety Lakkumar Fernando
By Sithumi Aug 07, 2021 03:21 PM GMT
Sithumi

Sithumi

Report

රටපුර පැතිර යමින් පවතින නව කොරෝවෛරසය ප්‍රභේදය නිසා කොරෝනා ආසාදිතයන්ගේ හා මරණවල ශීඝ්‍ර වර්ධනයක් නිර්මාණය වෙමින් පවතින බැවින් මෙම තත්ත්වය පාලනය කිරීමට ආණ්ඩුව කඩිනමින් නිසි පියවර නොගතහොත් තත්ත්වය තවත් භයානක විය හැකි යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි.

ඩෙල්ටා ප්‍රභේදය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා රට තුළ අවාසනාවන්ත තත්ත්වයක් නිර්මාණයවී ඇතැයි පෙන්වා දෙන විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, මෙවන් තත්ත්වයක් ඇතිවන බව මීට සතියකට ඉහතදී තම සංගමය රටට හෙළි කළ අතර පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා යම් යම් සීමාවන් අප්‍රමාදව පැනවිය යුතු බව රජයට පෙන්වාදුන් බව ද සඳහන් කරයි.

රටපුරා පැතිර යමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය නිසා ඇතිවිය හැකි අවාසනාවන්ත තත්ත්වය ගැන කිසිදු තැකීමක් නොමැතිව සංචරණ සීමා ඉවත් කළ බව පෙන්වා දෙන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා උද්ගතව ඇති තත්ත්වය පාලනය කිරීමට දැඩි පියවර ගැනීමට ආණ්ඩුව තවත් ප්‍රමාද විය යුතු නැතැයි අවධාරණය කරයි.

හෙට වෙන්නෙ මොනවා දැයි සර්වබලධාරීන්ගෙන් අහන්න සිදුවී ඇතැයි සඳහන් කරන ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මෙම මාරාන්තික වසංගතය මධ්‍යයේ අප ජාතියේ සෞඛ්‍ය ආරක්‍ෂාව උදෙසා, ගුරු, විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන ලෙස තම සංගමය ඉල්ලීමක් කළ බව ද සඳහන් කරයි.

අද පවතින තත්ත්වය දිනෙන් දින ඉහළ යාම පාලනය කර ගැනීමට ගතයුතු සියලු පියවරයන් නිසි වේලාවට නොගතහොත් මෙහි අවදානම තවත් ඉහළ යාම වැළැක්විය නොහැකි බව ද විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු අවධාරණය කරයි. කොරෝනා ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවත්, ලෙඩ්ඩු බිහිවීම වළක්වා ගැනීමට ගතයුතු පියවර කඩිනමින් නොගතහොත් මෙය පාලනය කර ගැනීමට නොහැකි වීමට ඉඩ ඇති බවත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එය සෞඛ්‍ය අංශවලට පමණක් කළ හැකි දෙයක් නොවන බවත් ඒ සඳහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම වහා සිදුවිය යුතු බවත් පෙන්වා දෙන, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ආසාදිතයන් 2,000ක් දිනකට රෝහල්ගත කිරීමට සිදුවුවහොත් ඇඳන් විසිදහසක් ලබාදිය යුතු වන බවත් මේ ආකාරයට දිනකට රෝගීන් දස දහසක් ඇති වුවහොත් ඇඳන් ලක්‍ෂයක් අවශ්‍ය වන බවත් සඳහන් කළ අතර එක් ආසාදිතයෙකුට දින දහයක් ප්‍රතිකාර ලබාදීමේදී මේ අන්දමට රෝගී දස දහසකට ඇඳන් ලක්‍ෂයක් අවශ්‍ය වන බව පැවසීය.

මෙවන් තත්ත්වයක් තුළ දැඩි සංචරණ නීති පනවා රෝගීන් බිහි වීම පාලනය කිරීමට වහා පියවර ගතයුතු අතර ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි ආකාරව ක්‍රියාත්මක කළ යුතු බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය. මේ අතර, පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කොවිඩ් රෝගීන් සඳහා රෝහල් ධාරිතාව කෙසේදැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, "ඒ ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් ලබන සතියේ ඔබ හමුවීමට නොලැබෙන්න පුළුවන්" යැයි පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now