වැඳලා ඉල්ලන්නේ දරුවන්ට ෆෝන් දෙන්න එපා...වීඩියෝ ගේම් නිසා රටම කම්පා කරපු සිද්ධිය මෙන්න.(PHOTOS)

Sri Lanka Bandaragama Video games
By Aruna Oct 13, 2021 07:28 AM GMT
Aruna

Aruna

Report

ඔන්ලයින් ඉගෙනීමත් නැහැ – අන්තිමට මට දරුවත් නැහැ බුලත්විට විකුණලා පවුල නඩත්තු කළේ හෝඩියේ පන්තියේ දරුවාගේ සිට උසස් අධ්‍යාපනය හදාරන සිසුවා දක්වා වූ සියලු දෙනාම මේ වෙද්දී ජංගම දුරකථනයක් හෝ පරිගණයක් භාවිත කර මාර්ගගත (ඔන් ලයින්) ඔස්සේ අධ්‍යාපනය ලබති.

ස්මාර්ට් ජංගම දුරකථන අනිසි ලෙස යොදා ගනිමින් ඇතැම් සිසුන් මේ වෙද්දී විවිධ ක්‍රීඩා (ගේම්)වලට ඇබ්බැහිවී සිටින බව නොරහසකි.

මෙලෙස ස්මාර්ට් ජංගම දුරකථනයෙන් ක්‍රීඩාවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචි 11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුගේ ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධිය නිසා බණ්ඩාරගම ප්‍රදේශයම මහත් කම්පාවට පත්වී සිටිති. නිවසේ කුස්සියේ කොන්ක්‍රීට් කණුවක ගෙල වැලලාගෙන මෙලෙස පෙරේදා (11 වැනිදා) සියදිවි නසාගෙන ඇත්තේ ඉසුරු අශේන් නමැති සිසුවෙකි.

ඔහු බණ්ඩාරගම රයිගම පතහවත්ත ශ්‍රී ස්වර්ණජෝති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඔහු අධ්‍යාපන කටයුතුද උනන්දුවෙන් කළේය.

එමෙන්ම නැටුම් විෂයෙන්ද ඔහු දස්කම් දැක්වූවේය. ඔහු බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව 46 හැවිරිදි මෝලි වික්‍රමාරච්චි 43 හැවිරිදි අශෝකා රංජනී යන දෙපළගේ එකම පුතු වූ ඉසුරු අශේන්ය.

මෝලි වික්‍රමආරච්චි බුලත් විට විකුණා උපයන ආදායමෙන් සිය දරු පවුල ජීවත්කර වූවේය.

අධ්‍යාපන කටයුතු සඳහා උනන්දුවක් දැක්වූ අශේන්ට ඔහුගේ පියා මහන්සියෙන් උපයාගත් මුදලින් ස්මාර්ට් ජංගම දුරකථනයක් මිලදී ගෙන දුන්නේ මාර්ගගත (ඔන් ලයින්) ක්‍රමය ඔස්සේ අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහාය.

“විට එකක්වත් නෑ. ඉක්මනට හදලා ගේන්න කියලා 11 වැනිදා දවල් 2.45 ට විතර පහළ කඩෙන් මට කෝල් එකක් ආවා.

පුතාට මම කිව්වා ඉක්මනට විට ටිකක් ඔතන්න කියලා. පුතා මට කිව්වා තාත්තා පුවක් ටික පළල දෙන්න මම ඉක්මනට ඔතන්නම් කියලා.

බුලත් විට ටික බෑග් එකට දාගෙන ත්‍රීවීල් එකකින් මම කඩේට යන්න ගියා. පැයකට විතර පස්සේ මම ගෙදර ඇවිල්ලා පුතේ කියලා කතා කළත් එයා කතා කළේ නැහැ.

පුතාගේ පුරුද්දක් තිබ්බා මම කොහේ ඉඳලා එක පාරක් කතා කළත් ඇයි තාත්තා කියලා අහනවා.

මම කාමරයේ බැලුවා ඒත් පුතා පේන්න හිටියේ නැහැ.

මම හිතුවා එයා බත් කන්න කුස්සියට යන්න ඇති කියලා. මම කුස්සියට ගිහින් බලනකොට පුතා කොන්ක්‍රීට් එකේ එල්ලිලා ඉන්නවා දැක්කා.

මම පැනපු ගමන් පුතාව අල්ලගෙන උඩට ඉස්සුවා. පුතාගේ බෙල්ලෙ තිබෙන ගැටය ලියන්න උත්සහ කළත් මට ඒක කරන්න බැරි වුණා.

විනාඩි 5ක පමණ කාලයකදී හොරණ ඉස්පිරිතාලෙට ගියත් මගේ පුතාගේ ජීවිතේ නැතිවෙලා අනේ අයියෝ.”යැයි අශේන්ගේ පියා පවසා සිටියේ සිය එකම පුතුගේ වියෝව දරාගත නොහැකිවය.

සිසුවාගේ හදිසි මරණය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථානීය නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූ අතර,එහිදී ඔහුගේ කාමරය තුළ තැන තැන සඟවා තිබූ පාවිච්චි කරන ලද ඩේටා කාඩ් 50කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම ජංගම දුරකථනයෙන් ගේම් ගැසීම සඳහාම උපයෝගී කරගන්නා මාපට ඇඟිලි ආවරණ තුනක් සොයා ගෙන ඇත.

ඉසුරු අශේන් භාවිත කළ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එහි තිබූ ඡායාරූප පන්සියයකට ආසන්න ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් විවිධ ක්‍රීඩා (ගේම්)වලට අදාළ වූ ඒවාය.

අශේන් සිසුවා සිය ස්මාර්ට් ජංගම දුරකථනයෙන් දැඩි ලෙස ක්‍රීඩා කිරීම සඳහා ඇබ්බැහි වී සිටි අයකු බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. “ඔන්ලයින් කරන්න කියලා ෆෝන් එකක් අරන් දුන්නා. අන්තිමට ඔන්ලයිනුත් නැති වුණා.

ළමයා ඊට පස්සේ ගේම් ගහන්න පුරුදු වෙලා. අනේ දෙයියනේ, අම්මලා තාත්තලාගෙන් වැඳලා ඉල්ලන්නේ, ළමයින්ට ෆෝන් නම් දෙන්න එපා…”

යැයි අශේන්ගේ පියා වැඩිදුරටත් කියා සිටියේ මෙවන් අකල් මරණ වළක්වා ගැනීමේ අරමුණෙනි.

සාලිය කුමාර ගුණසේකර


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha