අමෙරිකාවෙන් ලංකාවට හිමිවන වටිනම දෙයක් මෙන්න
මේ වනවිට ශ්‍රී ලංකාව වෙත අමෙරිකානු පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවූ TH-57 Sea Ranger වර්ගයේ හෙලිකොප්ටර් යානා 10 පිටත්කර එවා තිබේ.
අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව තහවුරු කර ඇත.
අමෙරිකාව විසින් පරිත්‍යාග කරන ලද මෙම හෙලිකොප්ටර් යානා 10 මාර්තු 15 වන දා අමෙරිකාවේ ඇලබාමා හි Port Mobile සිට මෙරට බලා පිටත්ව තිබේ. එය මේ වසරේ මැයි 24 වන දින මෙරටට ළඟා වෙනු ඇති බවට අපේක්ෂා කරනු ලබයි .
තවද Bell 206B-3 Jet Ranger යානා මිලිටරි ප්‍රභේදයක් වන මෙම මෙහෙයුම් ගුවන් යානා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබාදීමට නියමිතය.
Bell 206 මාදිලි සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම හෙලිකොප්ටර් යානා එක් කරගැනීමෙන් උසස් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම සහ ගලවා ගැනීම ඇතුළු තීරණාත්මක පොදු කාර්ය මෙහෙයුම් ධාරිතාවය ඉහළ නැංවීමට අපේක්ෂා කරයි .
මහින්ද සමරසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනුයේ යානා සැලකිය යුතු ලෙස වැඩි දියුණු කර ඇති බවත් මෙම පරිත්‍යාගය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන හවුල්කාරිත්වය මෙන්ම කලාපීය ආරක්ෂාව සහ මානුෂීය ආධාර සඳහා වන කැපවීම ශක්තිමත් කරන බවයි .
මෙම හෙලිකොප්ටර් යානා නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දූත පිරිසක් ජනවාරි මාසයේ දී අමෙරිකාවේ සංචාරයක නිරත ව ඇත.
මහින්ද සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනුයේ මෙම වටිනා පරිත්‍යාගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අමෙරිකාවට සිය හෘදයාංගම කෘතඥතාවය පල කරන බවයි.