යූරියා ගැන රටටම සුබ ආරංචියක්..

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna Oct 12, 2022 04:41 AM GMT
Aruna

Aruna

Report

මහ කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම ඇරැඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රජයට අයත් කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම විසින් මෙලෙස පොහොර බෙදා හැරීම ආරම්භ කර තිබේ.

වී වගා කර සති දෙකක් ඇතුළත යුරියා පළමු පොහොර ප්‍රමාණය යෙදිය යුතු හෙයින් මේ වනවිට දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොහොර බෙදා හැරීම අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සැප්තැම්බර් මස 29 සිට ඔක්තෝබර් 10 දක්වා කාලයේ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් දිස්ත්‍රික්ක 07කට යුරියා පොහොර මෙට්‍රික් ටොන් 11,283.86ක් බෙදා හැර තිබේ.

එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 11,698කි.

මෙවර මහ කන්නයේ වී වගා කිරීමට යෝජිත බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 814,678.43ක් බවත් එම බිම් ප්‍රමාණය මහ කන්නයේ වී වගා කරන බිම් ප්‍රමාණයෙන් සියයට 100ක් බවද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

මෙවර මහ කන්නයේ ද පසුගිය යල කන්නයේ මෙන් කිලෝ ග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලකට ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙන බවත් හෙක්ටෙයාර් එකක් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත පොහොර ප්‍රමාණය මෙවර ගොවීන් වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මහ කන්නයේ කුඹුරු වගා කිරීම ඇතැම් දිස්ත්‍රික්කවල ආරම්භව පවතින අතර බොහෝ දිස්ත්‍රික්කවල වගාව ආරම්භ කෙරෙනුයේ ඔක්තෝබර් තුන්වන සතියේ සිටය.