සියල්ල හඩවමින් එකම දවසේ අවසන් ගමනත් එකටම ගිය මිතුරන්
කුරුණෑගල සිට මාතලේ දෙසට යතුරුපැදි දෙකකින් ගමන් කරමින් සිටි මිතුරන් දෙදෙනෙකු යටවත්ත ප්‍රදේශයේදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරු දෙකකින් ජීවිතක්ෂයට පත්වීමේ ඛේදනීය පුවතක් වාර්තා වේ.
මාතලේ යටවත්ත වීර පරාක්‍රම විද්‍යාලය අසල පිහිටි බුදු මැදුර අසලදී එක් යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව බුදු මැදුරේ ගැටීමෙන් ප්‍රථම අනතුර සිදුවී ඇත.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ 28 හැවිරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණයා, පිටුපසින් යතුරුපැදියෙන් පැමිණි ඔහුගේ මිතුරා විසින් වහාම ත්‍රිරෝද රථයකට දමා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.
අනතුරුව, තුවාලකරු රැගත් ත්‍රිරෝද රථය පිටුපසින් සිය යතුරුපැදිය ධාවනය කරමින් සිටි අනෙක් මිතුරා, යටවත්ත ඇහැටුවැව ප්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක සහ අසල තිබූ විදුලි කණුවක ගැටී තවත් බිහිසුණු අනතුරකට ලක්ව ඇත.
එම අනතුරින් යතුරුපැදිය පැදවූ 24 හැවිරිදි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරියා එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ අතර, බුදු මැදුරේ ගැටීමෙන් මුලින් අනතුරට ලක්ව රෝහල්ගත කළ 28 හැවිරිදි තරුණයා ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.
මෙම අවාසනාවන්ත අනතුරු දෙක සම්බන්ධයෙන් මාතලේ යටවත්ත පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.