අන්න ඔයාලගෙ එක්කෙනෙක් අතක් උස්සා ගෙන වතුරේ ගිලෙනවා කිව්වා - උපකාරක පංති ගුරුවරයාගේ මරණය ගැන ඇහෙන කතාව
මුරුතවෙල ජලාශයේ ගිලී උපකාරක පංති ගුරුවරයෙක් මිය ගොස් තිබෙනවා.
ඒ ඉකුත් (6) දින තම මිතුරන් පිරිසක් සමඟ විනෝද චාරිකාවක පැමිණ මුරුතවෙල ජලාශයේ දිය නාමින් සිටි 32 හැවිරිදි පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක්.
ඔහුගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි ලබාදුන් විනෝද චාරිකා වෑන් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පෝරපිටිය, පැලවත්ත ,වරල්ල ලිපිනයේ පදිංචි බී. සුරේෂ් සම්පත් නම් සාක්ෂිකරුවකු විසින් ප්‍රකාශ කළේ,
“අපි 12 දෙනෙක් විතර වරල්ලේ ඉදලා උදේ 10 ට විතර මුරුතවෙල ජලාශයට දියනෑමට වෑන් රියකින් ආවා. මම වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කළා . මගදී කට්ටිය මත්පැන් බෝතල් හයක් ගත්තා . මුරුතවෙල ජලාශය ළඟට ඇවිත් කට්ටිය මත්පැන් බීලා විනෝද වෙලා නාන්න ජලාශයට බැස්සා . මා බිව්වේ නැහැ . එතැන වලවල් සහ රොන්මඩ තිබෙන තැනක්. මියගිය මල්ලි නාලා ටික වෙලාවකින් ගොඩට එනවා මා දුටුවා. ඔහු ආයෙ ජලාශයට බැහැලා තියෙනවා. "අන්න ඔයාලගෙ එක්කෙනෙක් අතක් උස්සා ගෙන වතුරේ ගිලෙනවා" කියලා කාන්තාවක් කෑ ගසා කීවා. අර කාන්තාව කෑගැසූ පසු අපි සොයා බැලුවා. මියගිය මල්ලි පෙනෙන්න හිටියේ නැහැ . පස්සෙ අපි 119 කෝල් එකක් දුන්නා. ඊට පස්සේ මිද්දෙණිය පොලිසියෙන් ආවා. ගමේ අය ජලාශයට බැහැලා බැලුවා. ඊට පස්සේ තමා ගමේ අය වැවේ පතුලේ තිබිලා ඒ මල්ලිගේ සිරුර ගොඩට ගෙනාවේ. ඔහු වහාම සුවසැරිය ගිලන් රථයකින් වලස්මුල්ල රෝහලට රැගෙන ගියා. ඒත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා කියලා දැනගන්න ලැබුණා.” යනුවෙන්.
වාර්තා වූ ආකාරයට මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ අමුවකන්ද, පැලවත්ත,වරල්ල, මොරවක ලිපිනයේ පදිංචි සුරේෂ් ඉන්දික ජයවර්ධන නමැති 32 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
ඔහු රුහුණු විශ්ව විද්‍යාලයේ කළමනාකරණවේදී උපාධිධාරියෙකු වූ ඔහු මොරවක සහ අවට ප්‍රදේශවල උපකාරක පංති පවත්වා ගිණුම්කරණය විෂයය ඉගැන්වූ ජනප්‍රිය ගුරුවරයෙක් බව සඳහන්.
අසල්වාසීන් පැවසුවේ මෙම තරුණ ගුරුවරයා ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වූ බවයි.
මිය ගිය පුද්ගලයාගේ හදිසි මරණ පරීක්ෂණය වලස්මුල්ල හදිසි මරණ පරීක්ෂක සඳසිරි රණසිංහ විසින් සිදු කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ දී සිදු කර ඇත.