ඉරිදා උපකාරක පංති තහනම්..රජයේ පාසල් ගුරුවරුන්ටත් රතු එළියක්..

Ministry of Education Sri Lanka Politician Sabaragamuwa Province Education
By Aruna Jul 12, 2023 12:07 AM GMT
Aruna

Aruna

Report

සබරගමු පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට තමන් උගන්වන පන්තියේ සිසුන්ව මුදල් අයකරන උපකාරක පන්තිවලට ගෙන්වා ගැනීම තහනම් කිරීමට සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පළාත් බලධාරීන්ට පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාසල්වල ගුරුවරුන්ට තමන් පාසලේ උගන්වන විෂය සඳහා එම සිසුන් කැඳවා උපකාරක පන්ති පැවත්වීම මේ අනුව තහනම් වෙන බව සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා විසින් ප්‍රකාශ කළා.

මුදල් අය කර පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සඳහා කැඳවීම තහනම් කරමින් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මීට පෙර අවස්ථා දෙකකදී චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ තිබූ බව පසුගිය රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී අනාවරණය විය.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා ගේ කැඳවීමෙන් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා පැවත්විණ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා ගේ කැඳවීමෙන් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව මධ්‍යම රජය විසින් ද නිකුත් කරන ලද චක්‍ර ලේඛන පදනම්ව සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මෙම චක්‍ර ලේඛන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා මෙවර රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හමුවට මෙම යෝජනාව ගෙන එනු ලැබීය. එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට මධ්‍යම පළාතේ රජයේ පාසල් ගුරුවරුන් සම්බන්ධව මෙම තීරණය ගෙන ඇති බවයි.

සබරගමු පළාතේ ද එය ක්‍රියාත්මක කරන ලෙස මන්ත්‍රීවරයා සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව 2016/08 සහ 2022/5 යන පළාත් අධ්‍යාපන චක්‍රලේඛ මගින් මේ බව පළාතේ රජයේ පාසල්වල ගුරුභවතුන් වෙත දැනුම් දී ඇතැයි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා පැවසීය.

එම නියෝග සබරගමු පළාතේ පාසල් තුළ ක්‍රියාත්මක කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා සඳහන් කළේ ඉරිදා දිනයේ උපකාරක පන්ති තහනම් කිරීමට ද මෙවැනි තීරණ ගෙන ඇති අතර ඒ ගැන ද යළි සොයා බලා නීතිය බලාත්මක කළ යුතු බවයි.

අපොස සාමාන්‍ය පෙළ දක්වා සිසුන්ට ඉරිදා උදය වරුවේ උපකාරක පන්ති පැවත්වීමට නොහැකි බව මෙහිදී අනාවරණය විය.